මුරුගන් එංගලන්තයට යන්න අවස්ථාව ඉල්ලයි
සයුරෙන් එතෙර

මුරුගන් එංගලන්තයට යන්න අවස්ථාව ඉල්ලයි

March 8, 2024   01:02 pm

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වී සිරගතව සිට 2022 දී නිදහස ලැබූ වී. ශ්‍රී හරන් නොහොත් මුරුගන්, තමාට එංගලන්තයට යාමට අවශ්‍ය ගුවන් ගමන් ලේඛන ලබාගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා මදුරාසි මහාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ.

එහිදී ඔහු අවසර ඉල්ලා ඇත්තේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලේට් කාර්යාලයට ගොස් තම ගුවන් ගමන් ලේඛන සාදා ගැනීමට සහ එංගලන්තයට යෑම සඳහා වීසා ලබාගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට අවසර දෙන ලෙසය.

ඔහුගේ අරමුණ වන්නේ එංගලන්තයට ගොස් එහි සරණාගත භාවය සඳහා ඉල්ලුම් කිරීම බව වාර්තා වෙයි.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වී පසුව නිදහස ලැබූ, මුරුගන් ගේ බිරිඳ වන එස්. නාලිනී විසින් මෙම පෙත්සම ගොනුකර ඇති බවය.    

රජීව් ගාන්ධි ඝාතනයේ සැකකාරියක් ලෙස නාලිනී ව 1991 ජුනි 14 වනදා අත්අඩංගුවට ගන්නා විට ඇය දෙමස් ගැබිනියකි.

ඇය ඔවුන්ගේ දියණිය, මෙහාරා බිහිකළේ සිර ගතව සිටියදීය.

2006 වසරේදී මෙහාරා එංගන්තයට ගොස් එහි සිටි සිය පියාගේ පවුලේ අය හා එක්වුණු අතර ඇය වෛද්‍ය භෞතික විද්‍යාව පිළිබඳ උපාධිය හදාරා මේ වනවිට එරට රැකියාවක යෙදෙන්නීය.