රිජ්වේ රෝහලේ වකුගඩු සැත්කමෙන් පසු මියගිය දරුවා ගැන අධිකරණ නියෝගයක්
February 21, 2024 03:49 pm
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ 03 හැවිරිදි දරුවෙක් වකුගඩු සැත්කමකින් අනතුරුව මිය යාමේ සිද්ධිය මිනීමැරුමක් බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අද (21) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පොලීසිය සාධාරණ විමර්ශනයක් පවත්වා නොමැති බවත් ය.
මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් මියගිය දරුවා වකුගඩු දෙකක් සහිතව රෝහල්ගත වූ බවත් සැත්කමෙන් පසුව එම වකුගඩු දෙකම ඉවත් කර තිබෙන බව චෝදනා කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරු විදේශ රටකට පළාගොස් ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා, මෙය සම්පූර්ණයෙන්ම මිනීමැරුමක් බවත් කියා සිටියේය.
මීට අදාළව තම සේවාදායකයින් පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කළත් පොලීසිය මේ දක්වා විමර්ශනයක් පවත්වා නොමැති බවටත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
මෙහිදී බොරැල්ල පොලීසියේ නිලධාරින් අධිකරණයට දන්වා සිටියේ අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන්නේ නම් සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන බවය.
මෙවැනි විමර්ශනයක් සිදුකිරීම සඳහා අධිකරණ නියෝගය අවශ්‍ය වන්නේ ඇයිදැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත් පොලීසියට නියෝග කළේය.