මාරක අනතුරු කිහිපයක්

මාරක අනතුරු කිහිපයක්

February 13, 2024   07:37 am

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතරු කිහිපයකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (12) දිනය තුළ එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

දික්වැල්ල - බෙලිඅත්ත මාර්ගයේ කුඩාහිල්ල 07 කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් 28 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාතර සිට මිද්දෙණිය දක්වා ධාවනය වූ බස් රථයක පිටුපස රෝදය ගැලවී දික්වැල්ල දෙස සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් එම අනතුරු සිදුව ඇත.

අනතුරින් පසු යතුරුපැදිය පෙරළී බස් රථයේ පිටුපස ‍රෝදයට යටවීමෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා බෙලිඅත්ත හත්බෝධිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මේ අතර කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ ටෙක්නිකල් හන්දිය අසලදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් 72 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර කළුතර උතුර පොලිස් වසමේ ගාලුපාර බුදු පිළිම හන්දිය අසලදී ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටී සිදුවූ අනතුරකින් 49 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පවසන්නේ, එම පුද්ගලයා හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු බවය.

මේ අතර කැකිරාව - තාලව මාර්ගයේ කුංචිකුලම කඩවීදිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කුංචිකුලම, ඉපලෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර මාතලේ - දඹුල්ල මාර්ගයේ නාඋල බස්නැවතුම්පොළ ඉදිරිපිටදී ලංගම බස් රථයක් බස්නැවතුම්පොළට ඇතුළු කරන අවස්ථාවේදී බස්නැවතුම්පොළ දෙස සිට පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ 67 හැවිරිදි යතුරුපැදිකරු මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.