කොළඹ අනවසර නිවාස සහ ගොඩනැගිලිවල හිමිකරුවන්ට නිවේදනයක්

කොළඹ අනවසර නිවාස සහ ගොඩනැගිලිවල හිමිකරුවන්ට නිවේදනයක්

January 18, 2024   03:20 pm

කොළඹ නගරය තුළ ඇති ඇළ මාර්ග අවහිර වන ලෙස පවතින නිවාස හා ඉදිකිරීම් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.

අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ මහ නගර සභාවේ, අධ්‍යක්ෂ ඉංජිනේරු,  ආර්. ඒ. ටී. පී. රණවක මහතා පවසා සිටියේ,  පසුගිය කාලයේ ඇති වූ තද වැසි හේතුවෙන් කොළඹ නගරය යට වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

අදාළ නිවෙස්වල ජීවත් වන ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කර එවැනි ඇළ මාර්ග ආශ්‍රිතව නිවාස ඉදිරි කළ ජනතාව ඉන් ඉවත් කිරීමේ කටයුතු සුදානම් කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

මට්ටක්කුලිය, ජේතවනය ආදි බොහෝ ස්ථානවල මෙවැනි තත්ත්වයක් දක්නට ඇති බව ද පැවසු රණවක මහතා, ඉතා ඉක්මනින් ඉවත් කළ යුතු කොටසක් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදුකරන බවත් කියා සිටියේය.

එම නිවාසවල සිටින ජනතාවගේ විස්තර රැගෙන ඔවුන් මේ වනවිට වෙනත් ස්ථානයක නිවාස ලබාගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට කැමැත්ත පළ කර ඇතැයි ද පැවසු ඒ මහතා, නාගරික කොමසාරිස් ජනරාල්වරියගේ උපදෙස් මත අවහිර වී ඇති සියලු නිවාස ඉවත් කිරීමට තීරණය කළ බවද පැවසීය.

"අහසින් එන වතුර පාරවල් දිගේ ඇවිල්ල අපේ කාණු පද්ධතියක් තිබෙනවා ඒවා දිගේ ගලා ගිහින් ඇළවල්වලට වැටිලා, ඇළවල්වලින් මහ මුහුදට යනවා. අපි ස්ථාන 22ක් හඳුනගෙන තිබෙනවා. අපි ඒවට සැලසුම් කිහිපයකින් පිළිතුරු හදනවා. ගංවතුර බැස යෑමේදී ඇළවල්වල තිබෙන බාධක තමයි ගැටලුවක් තිබෙන්නේ. ඇළ මාර්ග සුද්ද කිරීමට අපහසු වෙන විදිහට හදපු නිවාස තිබෙනවා. මේ ගෙවල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඉවත්කර මේ ජල ප්‍රවාහනය ක්‍රමවත් කරන්න අපි කටයුතු කරනවා. අපි ඉදිරියට කටයුතු කරද්දි ඉවත් කරන පිරිසට ගෙවල් ලබා දීලා ක්‍රමවත් සැලසුමකට කටයුතු කරනවා. මේ වන විට මුදල් ප්‍රශ්නය බලපාලා තිබෙනවා. කොළඹ නගරයේ වතුර බ්ලොක් වෙනවා කිව්වට, වැටෙන වර්ෂාපතනය අධික නිසා එකවර ජලය ගලා යාමේ ගැටලුවක් එනවා. ඉස්සර නම් වතුර උරාගන්න ඉඩම් තිබුණා. දැන් එහෙම ඉඩම් නැහැ. ඒ නිසා වැස්සෙන් වැටෙන ජලය පාරවල් දිගේ වේගයෙන් ගලාගෙන යනවා. ඒ ජලය මුහුද පැත්තට වේගයෙන් ගෙනියන්න ඕනේ. අපි මේ වෙනුවෙන් විශාල ඇළ මාර්ගයක් මේ වන විට සකස් කරමින් ඉන්නේ."