කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් මරුට

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් මරුට

January 18, 2024   08:37 am

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු අද (18) මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර, මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇති සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 14 දා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, එහි වාට්ටු අංක 3හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මියගොස් ඇති රැඳවියා පසුගිය 9 දා හෙරෝයින් මත්කුඩු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි අයෙකු බව පොලීසිය සඳහන් කළේය.

සති දෙකකට පෙර දින 4ක් තුළදී රැඳවියන් තිදෙනෙකු මියගොස් තිබූ බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වයි.