මෙරාපි යළිත් සක්‍රිය වෙයි

මෙරාපි යළිත් සක්‍රිය වෙයි

January 14, 2024   06:24 pm

ඉන්දුනීසියාවේ පිහිටි වඩාත්ම සක්‍රිය ගිනිකන්දක් ලෙස සැලකෙන මෙරාපි ගිනි කන්ද නැවතත් සක්‍රිය තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කිලෝමීටර් 1.3ක් තරම් ඉහළට ගිනි කන්දේ අළු විදාරණය වෙමින් පවතින බවට වාර්තා වෙයි.

ගිනි කඳු විදාරණය හේතුවෙන් ඒ අවට පිහිටි නිවාස, වගාබිම් සහ රථවාහන සියල්ලම පාහේ අලුවලින් වැසී ගොස් ඇති අතර, ඒ ආශ්‍රිත ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ගිනි කන්දෙන් තවදුරටත් ලාවා විදාරණය විය හැකි බවත්, එය අවට නිම්නය ඔස්සේ, ගිනි කන්දෙන් කිලෝ මීටර් 4.5ක් දුරින් පිහිටි ගංගාවට ගලා යාමේ අවදානමක් පවතින බවත් විද්‍යාඥයින් පුරෝකථනය කර තිබේ.

ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ සක්‍රිය ගිනි කඳු සුලභව පවතින සහ භූකම්පන සුලබ පැසිෆික් ගිනි වළල්ල කලාපය තුළය.

එහි පිහිටි සක්‍රියම ගිනි කන්දක් වන මෙරාපි ගිනි කන්ද පසුගිය මාසයේදී ද විදාරණය විය.

එහිදී සිදුවූ අනතුරුවලින් සිදුවූ පුද්ගල මරණ ගණන 20කි.