දරුවන් තිදෙනා සමඟ මවක් වස පානය කර ජීවිතක්ෂයට

දරුවන් තිදෙනා සමඟ මවක් වස පානය කර ජීවිතක්ෂයට

December 31, 2023   09:46 am

වස පානය කර මියගිය බවට සැක කෙරෙන මවක සහ දරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු මාලබේ නිවසකින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ දින කිහිපයකට පෙර පියා මියගිය සොවින් ඔවුන් වස පානය කර ඇති බවට සැක කරන බවය.

මෙලෙස මියගොස් ඇත්තේ මාලඹේ - කහන්තොට, අරුණ පෙදෙස ප්‍රදේශයේ නිවසක රැඳී සිටි මවක්, ඇයගේ පුතුන් දෙදෙනා සහ දියණියයි.

පොලිසිය සඳහන් කළේ මියගිය මව 35 හැවිරිදි වියේ පසුවන අතර පුතුන් දෙදෙනා අවුරුදු  9 සහ 7වන වියෙහිත්, දියණිය  6වන වියෙහිත් පසුවන බවය.

පසුගිය 29වනදා වස පානය කර සියදිවි හානිකරගෙන මියගිය ඔවුන්ගේ පියාගේ අවසන් කටයුතු ඊයේ සිදුකර තිබුණි.

මොවුන් පොළොන්නරුව ප්‍රෙද්ශයේ පදිංචිව සිට ඇති අතර විදෙස්ගතවීමේ බලාපොරොත්තුවෙන් එහි දේපළ විකුණා කොට්ටාව - මාකුඹුර ප්‍රදේශයේ කුලී නිවසක තාවකාලිකව පදිංචියට පැමිණ ඇති බවට වාර්තාවෙයි.

පියා දිවි හානි කරගෙන තිබුණේ ඒ අතරතුරය.

පසුව ඔහුගේ මෘතදේහය මාළඹේ පිහිටි ඔහුගේ සහෝදරයාගේ නිවසේ තැන්පත්කර තිබුණි.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු ඊයේ රාත්‍රීයේ බිරිඳ සහ දරුවන් සහෝදරයාගේ නිවසේ කාමරයක් නිදාසිට ඇති අතර මැදියම් රැයේ කාමරයෙන් අඛණ්ඩව ඇසුණු කහින ශබ්ධයක් හේතුවෙන් නිවැසියන් ඒ පිළිබඳ සොයාබලා තිබේ.

දොරගුළු දමා තිබූ නිදන කාමරයේ දොර කඩා ඔවුන් ඉවතට ගන්නා අවස්ථාව වනවිටත් සිහසුන්ව සිට ඇති අතර, රෝහල්ගත කිරීමේදී ඔවුන් මියගොස් තිබූ බව වාර්තාවෙයි.