නත්තල් දිනේ බෙත්ලෙහෙම පාළු වෙයි‍
සයුරෙන් එතෙර

නත්තල් දිනේ බෙත්ලෙහෙම පාළු වෙයි‍

December 25, 2023   02:08 pm

ලොවපුරා කිතුනු බැතිමතුන් ප්‍රීතියෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ මැදියම් රැයේ උදාවුණි.

නත්තලේ ලොව ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දැක්වු පාප් වහන්සේ,

"අද රාත්‍රියේ, අපගේ හදවත් තිබෙන්නේ බෙත්ලෙහෙමේ. අදත් යුද ගැටුම් හේතුවෙන් මේ ලෝකයේ ඉඩක් සොයාගත නොහැකිව ඔහු  ප්‍රතික්ෂේප වෙලා. ඔබ ඔබේම හදවත දෙස බලන්නේ නම්, ඔබේ දුර්වලතා සහ සමාව දිය නොහැකි මේ ලෝකය පිළිබඳව සිතන්නේ නම් ඔබට මේ නත්තල සැමරීම අපහසු විය හැකියි. සිදුවන සියල්ල අයහපත් බව ඔබට සිතේවි. නමුත් අද රාත්‍රීයේ ඉතිහාසය වෙනස් කරන්නේ ප්‍රේමය යි. ලෝක බලයට වඩා ප්‍රේමයේ බලය බලවත් බව අපි සිතමු..."

ජේසු බිළිඳාගේ උපත සමරන අසිරිමත් නත්තල පළමුවෙන්ම උදා වුණේ නවසීලන්තයට ය.

නවසීලන්ත කිතුනු බැතිමතුන් මෙලෙසින් නත්තල සැමරීය.

රුසියානු ප්‍රහාරවලට මැදිව සිටින යුක්‍රේනයේ කිතුණු බැතිමතුන් මෙන්ම ඔර්තඩොක්ස්
බැතිමතුන් ද මෙවර නත්තල සමරන්නේ දෙසැම්බර් 25වැනිදා වීම විශේෂත්වයකි.

ජුලියන් දින දර්ශනය අනුව යමින් ජනවාරි 7 වැනිදා නත්තල සමරන යුක්‍රේනයේ ඔර්තඩොක්ස් බැතිමතුන් මෙලෙස දෙසැම්බර් 25වැනදා නත්තල සමරන්නේ ඉතිහාසයේ පළමුවරටය.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි,

"යුද්ධයේ අවසානය වෙනුවෙන් අපි යාඥා කරනවා. අද සියලුම යුක්‍රේන වැසියන් එක් වෙලා. අද අපි හැමෝම එකතු වෙලා එක විශාල පවුලක් ලෙස එක් ජාතියක් ලෙස එක්සත් රටක් ලෙස එකම දිනක දී නත්තල සමරනවා..."

මේ අතර රාජකීය නත්තල් කැරොල් ප්‍රසංගය මෙවරත් උත්කර්ෂවත් අයුරින් වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී පැවැත්වුණා.

මේ තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකයෙන් පසු පැවැත්වෙන පළමු නත්තල් සැමරුම යි.

කෙසේ වුව ද ලොව පුරා කිතුණු බැතිමතුන් මෙලෙස නත්තල සමරද්දී ජේසු බිළිඳාගේ උපත සිදු වූ බෙත්ලෙහෙමේ නත්තල් සැමරුම් සිදුවන්නේ නැහැ.

ඊට හේතුව වී ඇත්තේ මේ වනවිට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර නොනැවතී පවතින යුද්ධයයි.

දිගින්දිගටම ගාසා ‍තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකරමින් බෙත්ලෙහෙමේ මෙවර නත්තල් සැමරුම් අත්හිටුවීමට පලස්තීනය තීරණය කර තිබේ.

මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම් නොපැවැත්වෙන්නේ පළමු වතාවටයි.

වෙනදා නත්තල් සැදෑවේ නත්තල් සිරියෙන් විචිත්‍රවත් වන බෙත්ලෙහෙම මෙවර පාළු ස්වභාවයක් ගෙන තිබුණි.