මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් අද සහ හෙට වර්ජනයක

මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් අද සහ හෙට වර්ජනයක

December 19, 2023   07:36 am

මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් අද (19) සහ හෙට (20) දෙදින වැඩවර්ජනයක නිරත වීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමය පවසයි.

එහි සභාපති සම්පත් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කරන ස්ථාන මාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බවය.

"ස්ථානමාරු ක්‍රමවේදයේ දී අපි දිගින් දිගටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තමයි ආයතන සංග්‍රහයට අනුව අපේ ස්ථානමාරු සිදුවුණේ. නමුත් මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමා අනුමත කරපු ස්ථානමාරු ඒකාබද්ධ රියදුරු සේවයේ ප්‍රතිපත්තිය අනුව මෙවර අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් එළියට මාරු කරලා තියෙනවා කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයට. මෙවර ස්ථානමාරු කිරීමේ ක්‍රමවේදයේදී ජ්‍යෙෂ්ඨ, පළපුරුදු රියදුරන් 15 දෙනෙකු ඉල්ලීම නොතකා එළියට මාරු කරලා තියෙනවා. මධ්‍යම පළාතේ ජනතාවට සේවය සලසන්න මේ පළපුරුදු සේවකයන් එළියට මාරු කරන එක නවත්වන්න අපි දෙදින සංකේත වැඩවර්ජනයක් සිදුකරනවා. අපේ විරෝධය පළ කරනවා. එසේ නොවන්නේ නම් ජනවාරි 1 සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යනවා."

මේ අතර ටෙලිකොම් ආයතනය විකිණීම සඳහා එහි සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිදුකරනු ලබන ක්‍රියාවලට එරෙහිව අද දිනයේ ටෙලිකොම් වෘත්තීය සමිති කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විරෝධතා ක්‍රියාමාර්ග සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා සඳහන් කළේය.