අමෙරිකානු යුද ආධාර සහ රුසියා - යුක්‍රේන ගැටුමේ අනාගතය

අමෙරිකානු යුද ආධාර සහ රුසියා - යුක්‍රේන ගැටුමේ අනාගතය

December 6, 2023   03:02 pm

අමෙරිකා එක්සත් ජනපදය විසින් ලබාදීමට යෝජිත නව ආධාර පැකේජය පමා වුවහොත් රුසියාව සමඟ යුද්ධයෙන් යුක්‍රේනය පරාජයට පත්වීමේ බලවත් අවදානමක් පවතින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඇන්ඩ්‍රි යෙර්මාක් පවසා ඇත.

යුක්‍රේනයට, ඊශ්‍රායලයට සහ අමෙරිකානු දේශසීමා ආරක්ෂාව සඳහා ඩොලර් බිලියන 106 නව ආධාර පැකේජයක් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය විසින් කොංග්‍රස් මණ්ඩලයෙන් අනුමැතියට ඉදිරිපත් කළ අතර දැන් එය එහි විවාදයට ගැනෙමින් පවතියි.

ඉන් ඩොලර් බිලියන 60ක් යුක්‍රේනයට යුද ආධාර ලෙස ලබාදීමට යෝජනා කර තිබේ.

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සුළු බහුතරයක් හිමිවී ඇති රිපබ්ලිකන් පක්ෂය මෙතෙක් එය අනුමත කර නොමැති බව සඳහන්ය.

එහෙත් සැලකිය යුතු ආධාර පැකේජයක් යුක්‍රේනය වෙත ලබාදිය හැකි බවට අමෙරිකානු බලධාරීන් තවදුරටත් අපේක්ෂාවෙන් පසු වේ.

දින 650ක් ගතවී ඇති යුක්‍රේන යුද්ධයේ නිමාවක සේයාවක් හෝ දර්ශනය නොවන පසුබිමක යුද්ධය තවදුරටත් පවත්වාගෙන යාමට නම් අමෙරිකානු සහ යුරෝපා සංගම් ආධාර පැකේජයක් අත්‍යවශ්‍ය වන බව යුක්‍රේනයේ අදහසයි.

අමෙරිකානු ආධාර පැකේජය පමා වුවහොත් යුක්‍රේන හමුදා දැනට රැඳී සිටින ස්ථානවලම රැඳී සිටීමට සිදුවනු ඇති බව යුක්‍රේන ජනපතිගේ මාණ්ඩලික ප්‍රධානියා සඳහන් කර ඇත.

එහිදී රුසියාව විසින් අත්පත් කරගත් යුක්‍රේන භූමිය නිදහස් කරගැනීම දුෂ්කර වන අතරම යුද්ධය පරාජය වීමේ විශාල අවදානමක් පැනනගින බව ඇන්ඩ්‍රි යෙර්මාක් (යුක්‍රේන ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී) සඳහන් කර ඇත.

රුසියාව සමඟ යුද්ධයේදී යුක්‍රේනයට සහාය වීම සඳහා තමන් සතු අරමුදල් සහ කාලය අවසන් වෙමින් පවතින බව ධවල මන්දිරය ඊයේ ප්‍රකාශ කළේය.

යුක්‍රේන ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සඳහන් කළේ යුක්‍රේන රජය ඩොලර් බිලියන 43ක අයවැය සහනයක් අපේක්ෂා කරන බවයි.

යුද්ධය නවත්වාගනිමින් ජනතාව ජීවත්කරවීම සඳහා එවැනි සහනයක් අවශ්‍ය වන බව ඔහු සඳහන් කර තිබේ.

යුක්‍රේනයට ලබාදෙන ආධාර පැකේජය අමෙරිකානු කොංග්‍රස් සාකච්ඡාවට ලක්වෙද්දී වීඩියෝ සම්බන්ධතාවක් හරහා එය ඇමතීමට යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් අවසන් මොහොතේ එය අවලංගු කර තිබෙන බව සඳහන්ය.

ඒ ඇතැම් රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් යුක්‍රේන ආධාර පැකේජය අමෙරිකානු සංක්‍රමණික ප්‍රතිපත්තිය හා සම්බන්ධ කිරීමට උත්සාහ කිරීම හේතුවෙනි.

කෙසේ නමුත් අමෙරිකාව ප්‍රමුඛ G-7 කණ්ඩායමේ නායකයන්, යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි සමඟ අද ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පවත්වන බව ජපානය ප්‍රකාශ කර ඇත.

ජපාන ප්‍රධාන කැබිනට් ලේකම් හිරෝකසු මට්සුනෝ ප්‍රකාශ කළේ G-7 නායකයන්ගේ සාකච්ඡාවට යුක්‍රේනය පමණක් නොව මැදපෙරදිග වාතාවරණය සහ කෘත්‍රීම බුද්ධියේ ප්‍රවනතාවන්ද ඇතුළත් වන බවයි.

එමෙන්ම ඔහුගේ මාණ්ඩලික ප්‍රධානියා මේ වනවිට වොෂින්ටන් නුවර සංචාරය කරන අතර කොංග්‍රස් මණ්ඩලය මගින් යුක්‍රේන ආධාර පැකේජය අනුමත කරවාගැනීම සඳහා ප්‍රබල උත්සාහයක නිරත වනු ඇත.

පසුගිය 2022 වසරේ පෙබරවාරියේදී රුසියාව විශේෂ හමුදා මෙහෙයුමක් ලෙස හඳුන්වමින් යුක්‍රේනය ආක්‍රමණය කළ අතර යුක්‍රේනය පසුගිය ජුනි මාසයේදී බටහිර රටවල යුදෝපකරණ සමග දැවැන්ත ප්‍රතිප්‍රහාර මෙහෙයුමක් දියත් කළේය.

එහෙත් යුක්‍රේනය සහ ඔවුන්ට සහාය ලබාදෙන බටහිර රටවල් අපේක්ෂා කරන තරම් ජයග්‍රහණයක් ඇතිකර ගැනීමට යුක්‍රේන හමුදා මෙතෙක් සමත් වී නැත.

ජනාධිපති සෙලෙන්ස්කිගේ මාණ්ඩලික ප්‍රධානී ඇන්ඩ්‍රි යෙර්මාක් වොෂින්ටනයේදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේදී මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් යුක්‍රේනය දැනටමත් සකස් කර ඇති බවයි.

හමුදා මෙහෙයුම්, රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් මෙන්ම අමෙරිකාව සහ තොරතුරු හුවමාරුව පවත්වාගෙන යන ආකාරයද ඊට ඇතුළත් බව ඔහු සඳහන් කර ඇත.

මේ අතර යුරෝපා සංගමය විසින් යුක්‍රේනයට ලබාදීමට යෝජනා කර ඇති යුරෝ බිලියන 20ක යුද ආධාර පැකේජයටද ඇතැම් රටවලින් විරෝධය පළවන බව වාර්තා වේ.

ඊශ්‍රායල - හමාස් යුද්ධය පිළිබඳ ලෝක අවධානය යොමුවෙද්දී බටහිර යුද ආධාර අඛණ්ඩව ලබාගැනීම යුක්‍රේනය මුහුණදෙන ප්‍රධාන අභියෝගයකි.

යුක්‍රේන භූමියෙන් 17.5%ක් රුසියාව විසින් තවදුරටත් අත්පත් කරගෙන සිටින අතර නැගෙනහිර සහ දකුණෙන් රුසියානු ඉදිරි ආරක්ෂක වළල්ල බිඳගෙන යාමට යුක්‍රේන හමුදාවට දුෂ්කර වී තිබේ.

ඒ අතරේ ඔවුන් බොහෝවිට ඉලක්ක කරගන්නේ 2014 වසරේදී රුසියාව විසින් ඈඳාගත් ක්‍රිමියා අර්ධද්වීපයයි.

යුක්‍රේනයට නුදුරේදීම කැපී පෙනෙන යුද ජයග්‍රහණයක් අත්කර ගැනීමට නොහැකි වුවහොත් එය අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න්ට නැවත තේරීපත්වීම සඳහා පවතින අවස්ථාවන්ද හීන කරනු ඇති බව විචාරකයන්ගේ අදහස වී ඇත.

එහිදී යුක්‍රේන ආධාර නතර කළ යුතු බව පවසන හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති ධුරයට පත්වීමේ අවස්ථා ඉහළ නංවනු ඇති බව වාර්තා වේ.

අනෙක් අතින් ලබන වසරේ ජනාධිපතිවරණයකට මුහුණ දීමට සැරසෙන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්‍රේන යුද මෙහෙයුම් උත්සන්න කරනු ඇති බව යුක්‍රේන වැසියන්ගේද අදහස් වී ඇත.

යුක්‍රේනයද ලබන වසරේ මාර්තු මාසයේ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වුවත් යුද නීතිය මාෂල් ලෝ (MARTIAL LAW) පනවා තිබීම හේතුවෙන් එය නොපැවැත්වෙන බව සඳහන් වේ.

මේ අතර 2022 වසරේ මාර්තු මාසයේ සිට යුක්‍රේන නිත්‍ය බල සේනාව හා එක්වී සටනේ නිරත වූ හිටපු ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් වූ කපිතාන් රතිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකුද රුසියානු හමුදා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී ඇති බව සමාජ මාධ්‍ය පළ කිරීම් ඔස්සේ අනාවරණය වේ.

සටනේදී මියගිය ප්‍රියන්ත නමැති තවත් ශ්‍රී ලාංකික සෙබළෙකුගේ සිරුර රැගෙන ඒමට ගිය අවස්ථාවක රුසියානු කාලතුවක්කු සහ ඩ්‍රෝන් ප්‍රහාරවලට ලක්ව ඔවුන් මියගොස් ඇති බව වාර්තා වී ඇත.

මේ අතර නැගෙනහිර යුක්‍රේනය් අව්දීජිකා නගරය අත්පත් කරගැනීම සඳහා සටන්වැද සිටින රුසියානු හමුදා තවදුරටත් ඉදිරියට ඇදෙමින් සිටින බව වාර්තා වේ.

රුසියානු හමුදා අව්දීජිකා සටනින් ප්‍රගතියක් ලබා ඇති බව අමෙරිකානු 'STUDY OF WAR' ආයතනයද සනාථ කර ඇත.

නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු බස කතා කරන ඩොනෙක්ස් කලාපයේ පිවිසුම් දොරටුව ලෙස සැලකෙන අව්දීජිකා නගරය අත්පත්කරගැනීම රුසියාවට ක්‍රමෝපාය ජයග්‍රහණයක් වනු ඇති බව යුද විචාරකයන්ගේ අදහසයි.

එමෙන්ම යුද්ධය ආරම්භ වීමට පෙර යුක්‍රේනයේ විශාලතම කෝක් නැත්නම් ඉන්ධන ගල් අඟුරු කම්හල පිහිටා තිබුණේ ද අව්දීජිකා නගරයේය.

මෙම කම්හල ඇතුළත් කාර්මික කලාපය ආර්ථිකමය වැදගත්කමකින්ද යුක්ත වේ.

කෙසේ නමුත් අව්දීජිකා සටන තවමත් අවසන් වී නොමැති අතර තමන් රුසියානු ප්‍රහාර රැසක් මැඬපැවැත්වූ බව යුක්‍රේනය පවසයි.

මේ අතර යුක්‍රේන සටනේදී තම ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වූ බව රුසියාව තහවුරු කර තිබේ.

රුසියානු හමුදාවේ 14 වැනි සන්නද්ධ බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ව්ලැදිමීර් සවඩ්ස්කි මෙලෙස යුක්‍රේන විශේෂ හමුදා මෙහෙයුමේදී මියගිය බව රුසියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත.