ලෝක රන් මිල වෙනස්වෙයි

ලෝක රන් මිල වෙනස්වෙයි

November 27, 2023   03:27 pm

ලෝක වෙළෙඳපොළේ රන් මිල දැන් නැවතත් අමෙරිකානු ඩොලර් 2,000 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබේ.

රන් අවුන්සයක මිල අද ඩොලර් 2015.09ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය සති අන්තයට සාපේක්ෂව ඩොලර් 11ක පමණ වැඩිවීමකි. 

පසුගිය මාස 06ක කාලය සැලකූ විට එය ඩොලර් 60ක පමණ වැඩිවීමක් මෙන්ම වසරක් තුළ ඩොලර් 261ක නැත්නම් 15%ක පමණ වැඩිවීමක් ලෙස සැලකිය හැකියි.

අමෙරිකානු ඩොලරය සාපේක්ෂව දුර්වල වීම සහ අමෙරිකානු මධ්‍යම සංචිතය නැත්නම් මහ බැංකුව පොලී අනුපාත සම්බන්ධයෙන් පරික්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීම රන් මිල ඉහළයාමට ආසන්නතම හේතුව ලෙස දැක්වෙයි.

අමෙරිකානු ඩොලරය අනෙකුත් විනිමයවලට සාපේක්ෂව පසුගිය සතියේ සටහන් කළේ මාස දෙකකින් පහළම අගයයි.

මේ වනවිට ඩොලරය දර්ශකය අනෙකුත් විනිමයවලට සාපේක්ෂව 0.1%කින් පහත වැටී තිබේ.

එමෙන්ම පසුගිය සතියේ අමෙරිකානු මධ්‍යම සංචිතය ප්‍රකාශ කළේ පොලී අනුපාත සම්බන්ධයෙන් පරික්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කළ යුතු අතර, තීරණ ගැනීම පුළුල් සහභාගිත්වයකින් යුතුව සිදුකළ යුතුව ඇති බවයි.

වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වාදෙන පරිදි දෙසැම්බරයේදී අමෙරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත නොවෙනස්ව පවතිනු ඇති අතර කප්පාදුවක් අපේක්ෂා කළ හැකි වන්නේ ලබන 2024 වසරේ මැයි මාසයේදී ය.

ලෝක වෙළෙඳපොළේ රන් මිල මෙන්ම රිදී මිලද අවුන්සයක් ඩොලර් 25ට ආසන්න වූයේ 2%ක පමණ වර්ධනයක් සලකුණු කරමින් තිබේ.

බොහෝ විට සුරැකුම් ලෙස තබාගන්නා රන් සහ රිදීවලට අමතරව අනෙකුත් වටිනා ලෝහවල මිල ගණන්ද දැන් වැඩිවීමක් පෙන්නුම් කරයි.

ඒ අනුව ප්ලැටිනම් අවුන්සයක මිල ඩොලර් 931.50 දක්වා ඉහළ ගොස් තිබුණි.