අර්ථ සාධක අරමුදල ගැන කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

අර්ථ සාධක අරමුදල ගැන කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

November 20, 2023   05:31 pm

අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක කරගැනීම පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවිය. 

සේවා අංශයේ අවිධිමත් අංශයේ රැකියාවන්වල නියුක්ත වූ පිරිස 60%ක් පමණ වන බවත් එම පිරිස ද සේවක අර්ථ සාධක අරමුදලට දායක කරගැනීම මඟින් ඔවුන්ගේ සමාජ ආරක්ෂණය ඉහළ නැංවිය හැකි බවද කාරක සභාව අවධාරණය කළේය.

වර්තමානයේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවන ආයතන අසූ දහසක් පමණ කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වි ඇති බව කාරක සභාවේදී අනාවරණය  විය.  

ඒ අනුව එම සමාගම් ගණන ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම සඳහා ලියාපදිංචි නොවූ සමාගම් සියල්ල හඳුනාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා  දුන්නේය.

මේ  පිළිබඳ  කරුණු සාකච්ජා වූයේ විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (16) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ලක්කිරීමේ මූලික පියවර ගෙන ඇති බව කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ. 

ඒ අනුව ජාතික ශ්‍රම වෙළෙඳපොළ තොරතුරු පද්ධතිය නමින් ශ්‍රම වෙළෙඳපොළ ට අදාළ තොරතුරු එක්රැස් කිරීමේ ඩිජිටල් ක්‍රමවේදයක් සැළසුම් කර ඇති බවද කාරක සභාව හමුවේ වැඩි දුරටත් අදහස් දක්වමින් එම නිලධාරීහු පැවසුහ.

මෙහිදී කම්කරු දෙපාර්තමේන්තුව විසින්  මහ බැංකුවේ මුදල් මණ්ඩලය මඟින් සේවක අර්ථ සාධක අරමුදලේ සියලු තීරණ ගැනීම ගැටලුකාරී බව පෙන්වා දෙන ලදී.

ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජනයක්, මහ බැංකුවේ මුදල් මණ්ඩලය තුළ පැවතීමේ වැදගත්කම එම නිලධාරීහු විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.

කම්කරු දෙපාර්තමේන්තුවේ සහ මහ බැංකුවේ ක්‍රමවේදයන් අතර පවත්නා වෙනස්කම් හේතුවෙන් අර්ථ සාධක අරමුදල් ලබාගැනීමේදී සාමාජිකයින් හට යම් යම් ගැටලුවලට මුහුණපෑමට සිදුවන බවත් සාමාජිකත්වය ලබාගැනීමේදී ඔවුන්ගේ තොරතුරු නිවැරදිව ඇතුළත් කිරීම සඳහා යම් එක් ක්‍රමවේදයක් සකස් විය යුතු බවද  කාරක සභාවේදී සාකච්ඡා විය.