එක්සිම් බැංකුවේ කොළ එළියක් ගැන ජනපති ගෙන් දැනුම්දීමක්

එක්සිම් බැංකුවේ කොළ එළියක් ගැන ජනපති ගෙන් දැනුම්දීමක්

November 11, 2023   01:27 pm

බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ 49 වැනි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්විණි.

මෙම අවස්ථාවට එම මධ්‍යස්ථානයේ සභාපතිත්වය දරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ නවසීලන්තයේ මෙරට මහකොමසාරිස් මිචෙල් ඇප්ල්ටන් මහතා ද සහභාගි වූහ.

මෙහි දී අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, චීන එක්සිම් බැංකුවෙන් ශ්‍රී ලංකා රජයට ලැබුණු දැනුම්දීමේ ලිපියට අනුව මෙරට බංකොලොත්භාවය නොසලකා හැරීමේ තත්ත්වයට ගමන්කරමින් සිටින බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

''අප ඉන්දීය සාගර කලාපය යොදා ගත යුත්තේ එක් කණ්ඩායමකට හෝ රටවල් කිහිපයකට වෙන්කර නොව සියල්ලන්ටම විවෘත ආකාරයෙන්. අප ඒ සඳහා උත්සාහ කරන අතර ඒ සඳහා නෞකා ගමනාගමනයේ නෞකා නිදහස සහ මුහුද යට විහිදෙන කේබල් ඇතිරීම සඳහා වූ යෝජනාව සම්බන්ධයෙන්ද කටයුතු කළ යුතුයි. අප ඉන්දියාව සහ මාලදිවයින සමග ආරක්ෂක සංවාදයක නිරත වෙමින් කලාපයේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන පිරිස් ඇතුළු රාජ්‍ය නොවන කණ්ඩ‍ායම් සම්බන්ධයෙන් පියවර ගතයුතුයි. උතුර සහ දකුණ සම්බන්ධයෙන් වූ ඊළඟ ක‍ාරණය ගැන සලකා බලනවිට කාලගුණ වෙනස සහ ණය සහන සම්බන්ධයෙන් අපේ අදහස වන්නේ විශේෂයෙන් අප්‍රිකාව ඇතුළත් අඩුආදායම්ලාභි රටවල ණය කපා හැරීමක් සිදුකළ යුතුයි. මැදි ආදායම්ලාභි රටවල් සැලකූ විට ඊට ණය සම්බන්ධයෙන් සලකා බැලීමේ කවුළුවක් තිබිය යුතුයි. අපට චීන එක්සිම් බැංකුවෙන් ලැබුණු දැනුම්දීමේ ලිපියට අනුව අපේ බංකොලොත්භාවය නොසලකා හැරීමේ තත්ත්වයට ගමන් කරමින් සිටිනවා. අනෙක් රටවලට එවැන්නක් පහසුවෙන් ළඟා කර ගත නොහැකිවන්න පුළුවන්. අප ඔවුන්ට සහාය විය යුතුයි''