ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

August 30, 2023   04:51 pm

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සහ ඖෂධවේදීන් 50කට පමණ අමෙරිකානු ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියේ විශේෂ පුහුණුවක් ලබා දීම අද (30) ආරම්භ කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන එම වැඩසටහන කොළඹ පදනම් ආයතනයේදීය ආරම්භ විය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රමිතියෙන් යුතු ආයතනයක් බවට පත් කිරීම සඳහා එම පුහුණුව ලබාදෙන අතර එම අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න පැවසුවේ ඇමරිකානු ඖෂධ හා ආහාර පිළිබඳ අධිකාරිය වන එෆ්. ඩී. ඒ ආයතනයේ අභාෂය ලබාගනිමින් ඉදිරියේදී ඖෂධ ගෙන්වීම හා නියාමනය සිදුකිරීමේදී එම ආයතනයේ උපදෙස් ලබා ගන්නා බවය.

ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ලබාදීමට එම ආයතනය පොරොන්දු වී ඇත බවද වාර්තාවෙයි.

ඉදිරියේදී තත්ත්වයෙන් බාල ඖෂධ නිෂ්පාදනය අවම කර ගැනීම සඳහා එම දැනුම ඖෂධවේදීන් භාවිතා කරනු ඇතැයි සභාපතිවරයා විශ්වාසය පල කළේය.

මෙම වැඩමුළුව සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර, අමෙරිකානු ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියේ ඉන්දීය කාර්යාලයේ අධ්‍යක්ෂිකා Sarah Mcmullen, ජත්‍යන්තර සබදතා පිළිබඳ විශේෂඥ සහ ඖෂධවේදය පිළිබඳ විශේෂඥ Phuc Nguyen, අමෙරිකානු ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියේ ඉන්දීය කාර්යාලයේවෛද්‍ය උපකරණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක Sudheendra Kulkarniද එක්ව සිටියහ.