කළු මුහුදේ ධාන්‍ය අපනයනය, තුර්කිය හා රුසියා - යුක්‍රේන අර්බුදය

කළු මුහුදේ ධාන්‍ය අපනයනය, තුර්කිය හා රුසියා - යුක්‍රේන අර්බුදය

August 17, 2023   03:51 pm

නෙටෝ සාමාජිකයකු වුවත් තුර්කිය, රුසියානු - යුක්‍රේන යුද්ධයේ දී යම් ආකාරයක මධ්‍යස්ථ භාවයකින් කටයුතු කරන රටක් ලෙස හඳුනාගත හැකිය.

කළු මුහුදේ ධාන්‍ය අපනයනය සඳහා යුක්‍රේනයට සහ රුසියාවට සම අවස්ථා සලසමින් ඇතිකරගත් එකඟතාවට තුර්කිය විශාල දායකත්වයක් දැක්වීය.

එහෙත් එම එකඟතාව දැන් බිඳවැටී තිබෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ධාන්‍ය අපනයන ගිවිසුම යළි පණ ගැන්වීම සඳහා තුර්කිය තවදුරටත් උත්සාහයක නිරත වන අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට මේ මාසය තුළ තුර්කියට පැමිණෙන ලෙස තුර්කි ජනාධිපති 'ටයීප් අර්ඩවාන්' දැනටමත් ආරාධනා කර ඇත. 

කළු මුහුදේ ධාන්‍ය අපනයන ගිවිසුම ඒතරම් වැදගත් වන්නේ, ලෝකයේ ප්‍රධානතම කෘෂි නිෂ්පාදකයන් දෙදෙනෙකු වන යුක්‍රේනයේ සහ රුසියාවේ තිරිඟු, ඉරිඟු ඇතුළු ධාන්‍ය, පොහොර ආදිය ගෝලීය වෙළෙඳපොළට පිවිසෙන්නේ කළු මුහුද හරහා නිසාවෙනි.

එහෙත් ගිවිසුම බිඳවැටුණු පසු රුසියාව විසින් යුක්‍රේනය කළු මුහුදට පිවිසෙන වරායට ප්‍රහාර එල්ලකිරීමට පටන්ගත් අතර, යුක්‍රේනය ද මුහුදු ඩ්‍රෝන් යොදාගනිමින් රුසියානු නෞකාවලට පහරදීමට උත්සාහ කළේය. 

කළු මුහුද මායිම් වී පවතින්නේ, යුක්‍රේනයට සහ රුසියාවට පමණක් නොවන අතර, රුමේනියාව, බල්ගේරියාව සහ තුර්කියේ විශාල භූමි ප්‍රදේශයක් ද කළු මුහුදට මුහුණ ලා ඇත.

නැගෙනහිර යුරෝපය සහ බටහිර ආසියාව එක්කරන කළු මුහුදට මුහුණ ලා පිහිටි තුර්කියේ ඉස්තාන්බුල් නුවරට ඔබ්බෙන් පසුගිය සති අන්තයේ විශේෂ සිදුවීමක් වාර්තා විය.

ඒ, තුර්කි වෙරළට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ තිබූ නෞකාවක්, රුසියානු මැරීන් භටයන් විසින් පරීක්ෂාවට ලක්කිරීමේ සිදුවීමයි.

පසුගිය ඉරිදා හෙලිකොප්ටරයකින් එම නෞකාවට ගොඩබට රුසියානු මැරීන් භටයන්, එය පරීක්ෂාවට ලක්කර ඇත්තේ, නෞකාව යුක්‍රේනය බලා යාමට නියමිතව තිබූ බැවිනි.

නේටෝ සංවිධානයේ දෙවැනි විශාලතම හමුදාවට හිමිකම් කියන තුර්කිය මේ සිද්ධිය සම්බන්ධයෙන් නිහඬව සිටීම නිසා ජාත්‍යන්තර මාධ්‍යය මඟින් එය හෙළිදරව් කොට තිබුණේ, ඊයේ (16) දිනයේදීය. 

රුසියාව සහ යුක්‍රේනය අතර සටන් බිමට බොහෝ ඈතින් කළු හුමුදේ උතුරු ප්‍රදේශයේ මෙම සිද්ධිය වාර්තා වීම විශේෂ සිදුවීමක් බව විචාරකයෝ සඳහන් කරති.

මෙලෙස තුර්කිය කේන්ද්‍ර කරගත් නෞකාවක් රුසියානු සන්නද්ධ මැරීන් භටයන්ගේ පරීක්ෂාවට ලක්වීම තුර්කියේ අයිතීන්ට රුසියාව කළ නිගරුවක් ලෙස ද පිරිසක් හඳුන්වති.

එහි දී තුර්කිය නිහඬව සිටීම ද අසාමාන්‍ය සිද්ධියකි.

කෙසේ නමුත් තුර්කිය තවදුරටත් ජනපති පුටින්ගේ සංචාරය අපේක්ෂාවෙන් සිටින බව එයින් පැහැදිලි වන බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ අවධාරණය කරති.

රුසියාව කළු මුහුදේ ධාන්‍ය අපනයන ගිවිසුමෙන් ඉවත්වීමෙන් පසු, අනෙක් පාර්ශ්වයේ නෞකා ගමනාගමනයට එරෙහිව රුසියාව මෙන්ම යුක්‍රේනය ද අනතුරු ඇඟවූ අතර, කළු මුහුදේ වාණිජ නෞකා ගමනාගමනය බොහෝ දුරට ඇණහිට ඇති බව වාර්තා වෙයි.