රූ රැජින තරගයක ලිංගික හිංසනයක්

රූ රැජින තරගයක ලිංගික හිංසනයක්

August 10, 2023   03:47 pm

ඉන්දුනීසියාවේ විශ්ව රූ රැජින තරගය සඳහා සහභාගි වූ අපේක්ෂකයන් කිහිප දෙනෙකු එහි සංවිධායකවරුන්ට එරෙහිව පොලිස් පැමිණිලි ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සංවිධායකයන් විසින් තමන්ට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් ඔවුන් මෙම පොලිස් පැමිණිලි ගොනු කර තිබේ.

අගෝස්තු 03 වනදා අවසන් මහා තරගයට දින දෙකකට පෙර ඡායාරූප ගැනීම සඳහා තරගකාරියන්ගේ උඩුකය ගලවන ලෙස සංවිධායකයන් ඉල්ලා සිටි බව පැමිණිලිකාර පාර්ශ්වයේ නීතිඥයන් සඳහන් කර ඇත.

තරගකාරියන්ගේ ශරීරයේ ඇති කැළැල්, පච්ච ආදිය පරීක්ෂා කිරීම සඳහා උඩුකය නිරුවත් කරන ලෙසට සංවිධායකවරුන් තරගකාරිනියන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් සිය අයිතිවාසිකම් කඩ වී ඇති බව හැඟෙන බවත් එය මානසිකව දැඩි ලෙස තමන්ට බලපා ඇති බවත් මෙම සිද්ධියට මුහුණ දුන් එක තරගකාරියක් මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියාය.

ජකර්තා අගනුවර පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.