විශ්වාසභංගය ගැන තීරණයක්

විශ්වාසභංගය ගැන තීරණයක්

August 10, 2023   07:18 am

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් ලබන සිකුරාදා රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

සිකුරාදා පෙරවරු 10.30ට එම කාරක සභාව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව මෙම සතිය තුළ සාමාන්‍ය පරිදි මීට පෙර න්‍යාය පත්‍රයට අනුව පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයාට ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මේ අතර වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ - ආර්ථික ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදය අද පාර්ලිමේන්තුවේ දී විවාදය ගැනීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්විමට නියමිත අතර මෙම කල් තැබීමේ විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

වතු ජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකිරීම මෙම විවාදයේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසුවේය.