ශ්‍රී ලන්කන් ගුවන් සේව‍යට විදේශීය ගුවන් නියමුවන්?

ශ්‍රී ලන්කන් ගුවන් සේව‍යට විදේශීය ගුවන් නියමුවන්?

July 15, 2023   02:01 pm

ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් විදේශිය ගුවන් නියමුවන් බඳවා ගනිමින් ශ්‍රී ලන්කන් ගුවන්සේවය ඉදිරියට පවත්වාගෙන යන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේදී ආයතනයේ පරිපාලන තීන්දු ගැනීමට අයෝජකයාට සම්පූර්ණ ඉඩකඩ ලබාදෙන බවයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,

''කොවිඩ් අර්බුදය නිසා සමස්ත ලෝකයේම ගුවන් සේවාවන් අඩාල වුණා. ඒ නිසා ගුවන් යානා බොහෝමයක් බිම නවත්තලා තියන්න සිද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් හුඟක් අයට රැකී රක්ෂා නැතිවුණා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ නම් අපි එහෙම කළේ නෑ. අපි ඒ ගුවන් නියමුවන්ට 50%ක පඩි දීලා රඳවගත්තා. කුවේට් ගුවන් සේවයේ එහෙම කොවිඩ් කාලෙ ගුවන් නියමුවන් 70ක් විතර අස් කළා එයාලගෙ ෆ්ලයිට්ස් යන්නෙ නෑ කියලා''

ගුවන් සමාගමේ ප්‍රතිව්‍යූහගතකරණය හා ගුවන් නියමුවන් ඉවත් වීම පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා,

''තවමත් ගුවන් නියමුවන් 260ක පිරිසක් ශ්‍රී ලංකාවේ රැඳී ඉන්නවා. ඔවුන් ඩුබායි හෝ සිංගප්පූරුවට ගියොත් විශාල වැටුපකට හිමිකම් කියයි. නමුත් ඒ රටවල ජීවන වියදම ඉහළයි. ඒ ගැනත් සංසන්දනය කරන්න. එවැනි සාධකත් බලපානු ලබනවා. අපි නව ගුවන් නියමුවන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබුවා. නමුත් ඇතැම් පිරිසකට මෙරට රැඳී සිටීමට අවශ්‍යයි. නමුත් ඔවුන් ඉවත් වුණොත් නව නියමුවන් විදේශ රටවලින් හෝ බඳවාගෙන ගුවන් සමාගම ඉදිරියටත් පවත්වාගෙන යනවා''