ලොතරැයි ටිකට් පත්වල මිල දෙගුණ වෙයි

ලොතරැයි ටිකට් පත්වල මිල දෙගුණ වෙයි

July 6, 2023   06:58 am

අද (06) සිට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි ටිකට් පතක මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 20ක්ව පැවති එම ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 40ක් ලෙස ඉහළ යනු ඇත.

පවතින අධික පිරිවැය තත්ත්වය මඟහරවා ගැනීමේ අරමුණින් ලොතරැයි මිල ඉහළ දැමීමට කටයුතු කළ බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි.

කෙසේවෙතත් මිල ඉහළ යාමට සමානුපාතිකව පාරිභෝගික ජනතාවට දිනුම් අවස්ථා ද ඉහළ නංවා තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි සහකාර සාමාන්‍යාධිකාරී මෙනුර චතුරංග මහතා,

"සෑම ලොතරැයියකම අවම තෑග්ග රු 40 දක්වා ගෙනත් තියෙනවා. සමස්තයක් විදියට මධ්‍යම ප්‍රමාණයේ තෑගි සහ පළමුපෙළ ත්‍යාග ප්‍රමාණය වැඩිවෙන විදියට හා වැඩි පාරිභෝගිකයින් පිරිසකට යන විදියට බලලා වැඩි ජයග්‍රහාකයින් පිරිසක් බිහිකරන්න යොමුවුණා. අපේ සුපිරි ත්‍යාගය රු 40ට කෝටි 40ක සුපිරි ත්‍යාගයක් තියෙනවා පාරිභෝගිකයාට. ඇත්තටම තමා වැය කරන මුදල වැඩිවුණාට සාපේක්ෂව ත්‍යාග මුදලත් වැඩිවෙලා තියෙනවා ලොතරැයි පත් හරහා."

මේ අතර ලොතරැයි ටිකට් පතක මිල ඉහළ නැංවීම සහ ඊට සාපේක්ෂව කොමිස් මුදල් ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් අද සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි සංගමය පවසයි.

එහි සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසුවේ, මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි අලෙවි කිරීමේ ගැටලුවක් මතුවන බවය.

කෙසේවෙතත් ලොතරැයි මිල ඉහළ දැමීම තුළින් කිසිදු පාර්ශවයකට අසාධාරණයක් සිදුව නොමැති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි සහකාර සාමාන්‍යාධිකාරී මෙනුර චතුරංග මහතා පැවසුවේය.