රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත උදාවෙයි

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත උදාවෙයි

April 17, 2023   06:41 am

‍සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අද (17) පෙරවරුවේ යෙදී තිබුණි.

අද පූර්ව භාග 06.28ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවි යනුවෙන් නැකැත් පත්‍රයේ සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වනදා ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් එය සංවිධානය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එදින පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන අලුත් අවුරුදු ක්‍රීඩා හා තරග ඉසව්වලින් අනතුරුව පස්වරුවේ මියැසි ප්‍රසංගයක් ද සංවිධානය කර තිබේ.

රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ මෙහි තරග ඉසව් සංවිධානය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.