කච්චතිව් හී ඉන්දියානු ‍ධජය ඔසවන්න තමිල්නාඩු අන්තවාදීන්ගේ උත්සාහයක්

August 14, 2011   04:39 pm

ඉන්දියාවේ රාමේශ්වරම් ප්‍රදේශයේ ධීවරයින්ට හෙට දිනයේ ධීවර කටයුතුවල නිරතවීම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

අගෝස්තු මස 15 වන දිනට යෙදෙන ඉන්දියානු නිදහස් දිනය නිමිත්තෙන් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුවීම වැළැක්වීමට මෙම පියවර ගෙන ඇතැයි නක්කීරන් වෙබ් අඩවිය උපුටා දක්වයි‍.

ඉන්දියානු නිදහස සමරන දිනයේ ඉන්දියාවට කලක් අයිතිව තිබුණු කච්චතිව් දූපතේ ඉන්දීය ජාතික ධජය ඔසවන බවට හින්දු ජනතා පක්ෂයේ නායක අර්ජුන් සම්පත් විසින් මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණි.

මේවන විට ශ්‍රී ලංකාවට අයිති කච්චතිව් දූපතේ ආරක්ෂාව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් තර කර ඇතැයි නක්කීරන් වෙබ් අඩවිය වැඩිදුරටත් කියා සිටියි.

අද දෙරණ කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුල සූරිය මහතා කියා සිටියේ තමිල්නාඩුවේ අන්තවාදී දේශපාලන නායකයින් හුදු දේශපාලන වාසි තකා විවිධ ප්‍රකාශ නිකුත් කරන බවයි.

කච්චතිව් දූපතේ ඉන්දියානු ධජය ඔසවන බවට අර්ජුන් පමණක් නොව සීමන්,වයිකෝ ආදීන්ද මීට පෙර අවස්ථාවන් ගණනකදී ප්‍රකාශ කර ඇතැයිද,ඒ නිසාම එකී අන්තවාදීන්ගේ ප්‍රකාශයන් පිළිබඳ කිසිදු තැකීමක් කළ යුතු නැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති භූමියක් බැවින් මෙතෙක් ඒ සඳහා ලබාදුන් ආරක්ෂාව මින් ඉදිරියටත් ප්‍රමාණවත් ලෙස ලබාදෙන බවත්,හෙට දිනය විශේෂ කොට සලකා ආරක්ෂාව තර කිරීමට කටයුතු නොකරන බවත් කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.