තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

March 27, 2023   03:59 pm

ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "ජිලේ" නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම පුද්ගලයා නිවාඩු නිකේතනයක කළමනාකරුවෙකු වශයෙන් පෙනී සිට සිටිමින් එම ජාවාරම මෙහෙයවා ඇති බව පොලීසිය පැවසීය.

එම පුද්ගලයා සතුව තිබී රුපියල් ලක්ෂ 10ක පමණ වූ මත්ද්‍රව්‍ය සහ මුදල් නෝට්ටු විශාල සංඛ්‍යාවක්ද පොලිස් භාරයට ගෙන තිබුණි. 

හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5,100ක්  මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් 612,430ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

ඩුබායි රටේ සැඟව සිටින "ජිලේ" නැමැත්තාගේ සහෝදරයාට අයත් නිවාඩු නිකේතනයේ කළමනාකරු ලෙස මෙම සැකකරු පෙනී සිටින බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

"ජිලේ" නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා සංවිධානාත්මක අපරාධකරු මීට වසරකට පමණ ඉහතදී මුල්ලේරියාව ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවත් සිද්ධියෙන් අනතුරුව සැකකරු ඩුබායි රටට පළාගොස් සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවත් පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා නුවරඑළිය ආගරපතන පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.