ඡන්දෙ ට එක එක බාධා

ඡන්දෙ ට එක එක බාධා

February 14, 2023   07:07 pm

සැලසුම් කර තිබූ අයුරින් හෙට (15) දිනයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු සිදු නොකරන බව මැතිවරණ කොමිසම අද (14) නිවේදනය කළේය.

එම නිවේදනයේ දැක්වෙන්නේ කොමිෂන් සභාවේ පාලනයෙන් තොර නොවැළැක්විය හැකි හේතූන් මත හෙට එම කටයුතු සිදු නොකරන බවය.

මෙම තීරණය කොමිසම නිවේදනය කළේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මුදල් ලබාදෙන තුරු එම කටයුතු සිදුකළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඊයේ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් පසුබිමකය.

‍ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 461කට ආසන්න මුදලක් මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත ලබාදිය යුතුය.

කෙසේවෙතත් එම වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබුණි.

ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් ඊයේ සිදුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල්. ජී පුංචිහේවා මහතා සඳහන් කළේය.

රජය විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව රාජ්‍ය ආයතනවලින් යම් සේවාවක් සැපයීමට පෙර ඊට අදාළ ගෙවීම් සිදුකළ යුතු බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වැයවන මුදල් ලබාදෙනතුරු ඒවා මුද්‍රණය කිරීමට නොහැකි බව මුද්‍රණාලයාධිපතිනිය දැනුම් දී තිබේ.

රජයේ මුද්‍රණාලයේ වෘත්තිය සමිති නියෝජිතයින්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණි.

රජයේ මුද්‍රණාලයේ පොදුජන පෙරමුණේ වෘත්තීය සමිතියේ සභාපති නිහාල් චන්ද්‍රසිරි,

"කිසිම වෙලාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බැහැ කියලා නැහැ. අපේ ආයතන ප්‍රධානියා ඉල්ලන මුදල් ප්‍රතිපාදන දීලා නැහැ. මේකේ මිනිස්සු නිකම් වැඩ කරන්න කැමති නැහැ."

රාජ්‍ය මුද්‍රණ සමගි සේවක සංගමයේ නියෝජ්‍ය සභාපති නුවන් බුද්ධික,

"මේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට පොලිස් ආරක්ෂාවවත් දීලා නැහැ."

මැතිවරණ නිරීක්ෂණ සංවිධානද පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද අදහස් පළ කළේය.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක,

"කොමිසම සමඟ සහයෝගයෙන් වැඩ නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය හැකියි. මැතිවරණ කොමිසම උපරිම බලය ක්‍රියාත්මක කරන්න. ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදීම සඳහා වන මූලික පියවර මැතිවරණ කොමිෂන් සභාව ඇරඹිය යුතුයි."

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද කැඳවා තිබූ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය පිළිබඳවත් එහිදී අවධානයට යොමුවී තිබුණි.

මේ අතර යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම එළඹෙන පෙබරවාරි 23 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝග කළේය.

කෙසේවෙතත් තැපැල් ඡන්ද විමසීම එළඹෙන පෙබරවාරි 22 වනදා පැවැත්වීමට නියමිත බැවින් ඊට පෙර එනම් පෙබරවාරි 17, 20  හෝ  21 යන දිනවලින් එක් දිනයක පෙත්සම සලකා බලන්නැයි ඉල්ලා පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් මෝසමක් ගොනු කර තිබේ.

මේ අතර ඡන්ද විමසීම පැවැත්වීමට රජය විවිධ බාධා සිදුකරන බව පවසමින් සමගි ජන බලවේගය කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත අද සංදේශයක්ද භාර දුනි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 22 වන වතාවටත් ආණ්ඩුව මැතිවරණය කල් දැමීම උදෙසා බියගුළු වෑයමක් ගෙන ඇති බවය.

මැතිවරණය කල් දැමීම උදෙසා කුමන්ත්‍රණය කරන සියලු දෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සහ නීතිය ඉදිරියේ උපරිම දඬුවම් ලබාදීමට නොපසුබට වන බවද එහි සඳහන්.

මැතිවරණය කල්දැමීමට හෝ නොපැවැත්වීමට ආණ්ඩුව ගනු ලබන බියගුළු ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග සහ සෙසු සියලු ප්‍රගතිශීලි බලවේග එක කඳවුරකට ගොනුවිය යුතු අවස්ථාව උදාවී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.