මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය

මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය

February 10, 2023   08:13 am

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (11) දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.

පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතව තිබේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයට පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදුකළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 770ක පමණ මුදලක් පෙබරවාරි මාසය සඳහා අවශ්‍ය බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දුන් බවය.

මේ අතර මැතිවරණය පැවැත්වීමට අදාළ මුල්‍ය ප්‍රතිපාදන කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මාර්තු 19ට පෙර පළාත් පාලන ආයතන ස්ථාපිත නොකළ හොත් එම ආයතන කොමසාරිස් පාලනයකට යටත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මැතිවරණය කල් ගියහොත් එවැනි තත්වයක් ඇතිවිය හැකි බවය.