පාසල් සිසුන් ප්‍රවාහනය ගැන සොයාබැලීමට විද්වත් කමිටුවක්

පාසල් සිසුන් ප්‍රවාහනය ගැන සොයාබැලීමට විද්වත් කමිටුවක්

January 24, 2023   04:32 pm

පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළයුතු රීති මාලාව සම්බන්ධයෙන් සොයාබැලීමට විද්වත් කමිටුවක් පත්කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශයක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

මෙම කමිටුව නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පත් කෙරෙන බවත්, එයට මොරටුව විශ්ව විද්‍යාලයය, අධ්‍යාපන අමාත්‍යංශය හා ජාතික ගමනාගමන කොමිෂම යන ආයතනවල සාමාජිකයන්ගෙන් සමන්විත බවත්, අමාත්‍යවරයා පැවසීය.

පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කළයුත්තේ කුමක්ද යන්න අදාළ විද්වත් කමිටුව මගින් සාකච්ඡා කෙරෙනු ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

මේ අතර පසුගිය ජනවාරි 20 වැනි දා නානුඔය, රදැල්ල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් වෙනුවෙන් කඩිනමින් වන්දි ගෙවීමට සහ ගෙවිය හැකි උපරිම වන්දි ප්‍රමාණය ගෙවීමට ජනාධිපතිතුමා උපදෙස් දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.