ජනපතිගෙන් තෑග්ගක්

ජනපතිගෙන් තෑග්ගක්

December 28, 2022   02:28 pm

අඹේවෙල ගොවිපොළ සමීපයේ අත්හැර දමා ඇති අක්කර 30ක භූමිය අඹේවෙල ගොවිපොළට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඊයේ (27) එම ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

එසේම අදාළ භූමිය තෘණ භූමියක්‌ ලෙස සංවර්ධනය කර කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය අගය කළ ජනාධිපතිවරයා එය අනෙකුත් ගොවිපොළවලට ආදර්ශයක් බවය.

මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සහ අත්දැකීම් සඳහා මෙම ගොවිපොළ විවෘත කර ඊට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

මෙහිදී අඹේවෙල ගොවිපොල සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා පැවසුවේ අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන සහ ගොවිපල තාක්ෂණයේ ඉහළම තාක්ෂණික භාවිතයක් සහිත ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රධානතම මධ්‍යස්ථානය බවය.

යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ආයතනයේ මේ වන විට කිරි ගවයන් 1000ක් පමණ සිටින අතර දෛනිකව කිරි ලබා ගැනීම සිදු කෙරේ. 

එසේම දිනකට අවස්ථා 03කදී මෙම ගවයින්ගෙන් කිරි ලබා ගන්නා අතර මෙම ස්ථානය සහ අඹේවෙල සමස්ත පද්ධතියෙන් මෙරට කිරි අවශ්‍යතාවයෙන් දියර කිරි ලීටර් 40,000ක් වෙළෙඳපොළට නිකුත් කෙරේ. 

එම කිරි ගවයන් නඩත්තු කිරීම , අවශ්‍ය ආහාර පාන ලබා දීම, බර කිරීම, රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ එවන් හඳුනා ගැනීමකදී ගවයින් වෙන් කිරීම ආදී සියලු කටයුතු ස්වයංක්‍රීය ක්‍රමවේදයකට අනුව යන්ත්‍රානුසාරයෙන් සිදු කෙරේ.

අඹේවෙල ගොවිපොළ පද්ධතියේ ගවයන් 4500ක් මේ වන විට පෝෂණය ලබයි. 

2001 වසරේ අඹේවෙල සමූහය ආරම්භ කිරීමට පෙර, මෙය රජය සතුව පවතිද්දී දිනකට සපයා ගෙන ඇත්තේ කිරි ලීටර් 1500 ක් පමණි.

අද වන විට කිරි ගවයින් සඳහා වන හොඳම ප්‍රභේද ලංකාවේම නිර්මාණය කිරීමට අඹේවෙල පද්ධතිය පසුගිය වසර 15ක කාලය තුළ සමත්ව ඇත. 

ඒ අනුව මෙම කිසිඳු කිරි ගවයෙකු විදේශයෙන් ආනයනය නොකරන අතර කිරි ගවයන් බිහි කිරීම සඳහා ලෝකයේ දැනට ඇති අති නවීනතම තාක්ෂණය භාවිතයෙන් දැනට ලෝකයේ සිටින ඉහළම පිරිමි ගවයින්ගේ ශුක්‍රාණු ආනයනය කරමින් ජාන තාක්ෂණය ද භාවිතයෙන් මෙරටට ගැළපෙන ගවයින් බිහි කිරීම ද ආයතනික ක්‍රියාවලියේම කොටසක් බවට පත්කරගෙන තිබේ.

එමෙන්ම කිරි ගවයින්ට අවශ්‍ය ආහාර ලබා දීමේදී වක්‍ර රැකියා දහසක් පමණ මෙම ගොවිපොල ආශ්‍රිතව නිර්මාණය වී ඇත. බඩඉරිඟු ගොවීන්ගේ සම්පූර්ණ අස්වැන්න අඹේවෙල ගොවිපළට ලබා ගැනීමේ යාන්ත්‍රණයක් ද මේ වන විටත් ක්‍රියාත්මකය. 

ඒ අනුව වසරකට බඩඉරුඟු ගස් මෙට්‍රික් ටොන් 25,000ක් පමණ එකතු කර ගබඩා කිරීමේ පහසුකම් ද අඹේවෙල ගොවිපොළ පද්ධතිය සතුය.

අඹේවෙල ගොවිපොළට යාබදව දැනට භාවිතයට නොගන්නා, තෘණ වගා කළ හැකි බවට හඳුනා ගත් අක්කර 30ක පමණ භූමි භාගය ද මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.