මුදල් හුවමාරු කිරීමේ ආයතනයක බලපත්‍රය අවලංගු කරයි

මුදල් හුවමාරු කිරීමේ ආයතනයක බලපත්‍රය අවලංගු කරයි

December 12, 2022   02:16 pm

පෞද්ගලික මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට (Prasanna Money Exchange (Pvt) Ltd) නිකුත් කර ඇති මුදල් මාරු කිරීමේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම සමාගමට නිකුත් කර තිබූ බලපත්‍රය තාවකාලිකව අවලංගු කරමින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නෙකු ලෙස විදේශ මුදල් මාරු කිරීමට තවදුරටත් අවසර නොමැති බවය.

එසේම ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම සමඟ විදේශ මුදල් මිල දී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ නීති විරෝධී ක්‍රියාවක් ලෙස සලකන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.