වකුගඩු ජාවාරමේ චෝදනා එල්ලවූ රෝහල ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවරක් 

වකුගඩු ජාවාරමේ චෝදනා එල්ලවූ රෝහල ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවරක් 

November 24, 2022   08:10 pm

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකෙරුණු වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අද දෙරණ 'උකුස්සා' සිදුකළ අනාවරණයෙන් පසුව එහි අවයව බද්ධ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් වකුගඩු ලබාදුන් පුද්ගලයන් 05 දෙනෙකු බොරැල්ල පොලීසියට පැමිණිලිකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

ඒ අනුව පිරිස අද දිනයේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකෙරුණු වකුගඩු ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සා පසුගිය දින කිහිපය පුරාම අන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

ඊට උසස් පොලිස් නිලධාරියෙකුගේ ද සහාය හිමිවන අයුරුද අප රට හමුවේ පෙන්වා දුන්නේය.

මෙම සිදුවීමට සහාය දුන් උසස් පොලිස් නිලධාරියා පිළිබඳව ද  විමර්ශනයක් සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.