ධනුෂ්කගේ නඩුවට සල්ලි තියෙනවා - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ධනුෂ්කගේ නඩුවට සල්ලි තියෙනවා - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

November 14, 2022   09:28 pm

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුව සඳහා වියදම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවට පසුගියදා පළවු මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පවසයි.

ඔහු පැවසුවේ පළමුවෙන් ධනුෂ්ක ගුණතිලක බේරා ගැනීම සඳහා කටයුතු කළයුතු බවය.

පසුව ඔහුගෙන් අදාළ පියවා ගැනීම් සිදුකිරීමට හැකි බවත් ඒ මහාතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (14) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

"මම අඟහරුවාදාම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක මණ්ඩලයේ අනුමැතිය අරන් තියෙනවා අවශ්‍ය ප්‍රතිපාදන ලබලා දෙන්න.  ඒ ළමයා බේර ගත්තට පස්සේ එයාගේ පෞද්ගලික වියහියදම් පියවා ගන්නට තියෙනවා නම් අපිට එතුමාගෙන් එක පියවා ගන්න පුළුවන්. ඒ ළමයින්ගේ සල්ලි අපි ගාව තියෙනවා. කොන්ත්‍රාත් ගිවිසුම් සල්ලි. මැච් මනි. ඒවා ඔක්කොම අපි ගාව තියෙනවා. මේ සේරම හරි ලස්සනට අපිට පියවා ගන්න පුළුවන්. මේ පච ප්‍රචාර නැවැත්තුවොත් මේක හරි පහසු වෙනවා. හිටපු නායකතුමා එදා මීටිමේදී කිව්වා ලංකා කණ්ඩායම පාටි 16කට ගිහින් තියෙනවා කියලා. ක්‍රිකට් බෝඩ් එකෙන් කරේ එකයි. මැනේජරුත් ඇවිත් කියලා තියෙනවා එකයි කියලා. නෑ නෑ අපිට ආරංචිලු. කොහෙන්ද එතුමාට ආරංචි ඇවිත් තියෙන්නේ?  දෙවැනි පාටිය පෙන්වන්න. හෙට මම යන්නන් අමාත්‍යාංශයට. අපිත් එක්ක තියෙන ඉරිසියාවට ක්‍රිඩකයින්ට ගහන්න එපා. ඒගොල්ලන්ට අපි නිදහසක් දීලා තියෙනවා. නිදහස හරි විදියට භුක්ති වීදිම ක්‍රීඩකයින්ගේ යුතුකමක්. එකට තමයි වෘත්තිමයභාවය කියන්නේ. එහෙම නොවෙන මිනිහට වැඩිදුරක් යන්නත් බෑ."

මේ අතර කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ධනුෂ්ක ගුණතිලක සිය දෙවෙනි ඇප අයදුම්පත නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

එම ඇප අයදුම්පත දෙසැම්බර් 08 වනදා සලකා බැලීමට නියමිතය.

කෙසේ වෙතත් සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තාකර ඇත්තේ එදිනට පැවැත්වෙන ඇප අයදුම්පත සලකා බැලීම විනාඩි 30කට සීමා වන අතර එහිදී ධනුෂ්කට ඇප ලබාදීම අවදානමක් ද යන්න පමණක් සලකා බැලෙන බවට නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ සොලිසිටර්වරයා පවසා ඇති බවය.