කූඨ ලේඛන සකස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

කූඨ ලේඛන සකස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

October 30, 2022   11:51 am

කූඨ ලේඛන සකස් කර අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ 07 ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම ප්‍රදේශයේ මුද්‍රණාල දෙකක් පවත්වාගෙන යමින් කූඨ ලේඛන සකස් කර අලෙවි කරන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

මුද්‍රණාලය තුළ ව්‍යාජ ලෙස සකස් කළ උප්පැන්න සහතික, ග්‍රාම සේවා සහතික, විවෘත විශ්වවිද්‍යාල සහතික, ශිෂ්‍ය කාර්ය දර්ශක, ජල බිල්පත්, බැංකු පාස්පොත්, රියදුරු බලපත්‍ර, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල ලේඛන රැසක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

එහිදී ව්‍යාජ රබර් මුද්‍රා 73ක් සහ පරිගණක 04 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 47 හැවිරිදි සහ 64 හැවිරිදි කොළඹ 07 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ.

සැකකරුවන් අද (30) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.