රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට

රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට

October 24, 2022   07:04 pm

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු වරට එරට අග්‍රාමාත්‍ය ධුරය ආසියානු සම්භවයක් ඇති අයෙකුට හිමිව තිබේ.

ඒ, ලිස් ට්‍රස්ගෙන් හිස් වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාලක කන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටන ජය ගැනීමට ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනක් සමත් වීමත් සමගය.

බ්‍රිතාන්‍ය අගමැති ලිස් ට්‍රස් සිය ධුරයෙන් සහ කන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට පසුගියදා නිවේදනය කළේය.

ඒ ධුරය භාරගෙන දින 45 ක් වැනි කෙටි කාලයක් තුළය.

බිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාට වන අතර ඒ අනුව පාලක කන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව සටන ආරම්භ වුණි.

ඊට ඉන්දිය සම්භවයක් ඇති මන්ත්‍රී හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් සහ Penny Mordaunt එක්ව සිටියහ.

පක්ෂ නායකත්ව සටනට හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද එක්වන බව වාර්තා වුවද එම සටනින් ඉවත්වීමට ඔහු පසුව තීරණය කර තිබුණි.

ඒ අනුව පක්ෂ නායකත්ව සටන දෝලනය වූයේ රිෂී සුනක් සහ Penny Mordaunt අතරය.

කෙසේ වෙතත් අපේක්ෂක නාම යෝජනා සඳහා ලබා දී තිබූ කාලය අවසන් වීමට නියමිතව තිබියදී අපේක්ෂිකා Penny Mordaunt දැනුම් දුන්නේ පක්ෂ නායකත්ව සටනින් තමා ඉවත් වන බවය.

ඒ අනුව පාලක කන්සවේටිව් පක්ෂයේ නායකත්වය සඳහා වන සටනේ පෙරමුණට රිෂී සුනක් පැමිණියේ නිතරගයෙනි.

පක්ෂයේ බහුතරයකගේ සහාය සමග පක්ෂ නායකත්ව සටන ජයගන්නට ඔහු සමත්වුණි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා බවට රිෂී සුනක් පත්වෙයි.

සුනක්, සති හතක් තුළ බ්‍රිතාන්‍යයට පත් වන තෙවැනි අගමැතිවරයාය.

හිටපු අගමැති ලිස් ට්‍රස් ට්විටර් පණිවුඩයක් තබමින් රිෂී සුනක් ට සුබ පතා තිබේ.

අපගේ නව අගමැතිවරයාට සුබ පතන අතර සියලු සහයෝගය ලබා දෙන බවට ඇය එහි සඳහන් කර ඇත.

මේ අතර ප්‍රතිවාදී කම්කරු පක්ෂය අවධාරණය කරන්නේ මහ මැතිවරණයකට ගොස් නව ආරම්භයක් ලබා ගැනීම මිස රිෂී සුනක් අගමැති ධුරයට පත් කිරීම සුදුසු නොවන බවය.

ඔහුට නිසි ප්‍රතිපත්තියක් හෝ රටේ අර්බුදවලට විසඳුමක් නොමැති බව කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායක ඇන්ජලා රේනර් පවසයි.

කෙසේ වෙතත් පාලක පක්ෂයේ නායකත්වයට පත්වීමත් සමග බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍ය ධුරයට රිෂී සුනක් පත්වන්නේ එරට ඉතිහාසය ද අලුත් කරමිනි.

ඔහු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආසියානු, ඉන්දියානු සම්භවයක් සහිත පළමු අග්‍රාමාත්‍යවරයා වනු ඇති.

තවමත් 42 හැවිරිදි වියේ පසුවන සුනක් සියවස් දෙකකට පසු පත්වන බ්‍රිතාන්‍යයේ ලා බාලතම අගමැතිවරයා ලෙස ද ඉතිහාසයට එක්වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයේ හෙට දිවුරුම් දෙනු ඇති බවය.