කොකේන් තොගයක් සමග කටුනායකදී හසුවූ තරුණිය

කොකේන් තොගයක් සමග කටුනායකදී හසුවූ තරුණිය

October 18, 2022   06:06 pm

රුපියල් මිලියන 130ක් පමණ වටිනා කොකේන් තොගයක් සමග තරණියක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වැටලීම සිදුකර තිබුණි.

ඇය සතුව තිබී කොකේන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 553ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය 26 හැවිරිදි සුරිනාම් ජාතික තරුණියක් වන අතර ඇය බ්‍රසීලයේ සිට කටාර් රාජ්‍යයේ ඩෝහා නගරය හරහා මෙරටට පැමිණ තිබුණි. 

ඇයගේ සැකකටයුතු හැසිරීම හේතුවෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත.

එසේ පරීක්ෂා කිරීමේදී ඇයගේ ගමන් මල්ල තුළ අසුරා තිබු ආහාර වශයෙන් සඳහන්කළ ටින් 5ක් තුළ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ එම කොකේන් තොගය සොයාගෙන ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා කොකේන තොගය සහ සැකකාරිය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී ති‌බේ.