දුරගමන් බස්වලින් කප්පම් ගත් දෙදෙනා අත්අඩංගුවට

දුරගමන් බස්වලින් කප්පම් ගත් දෙදෙනා අත්අඩංගුවට

October 4, 2022   06:25 pm

තියුණු ආයුධ පෙන්වමින් දුරගමන් සේවා බස්රථවලින් කප්පම් මුදල් ලබාගන්නා ගලේවෙල රුවන් සහ ඔහුගේ සහයකයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

වසර 15ක් පමණ සිට එම සැකකරු විසින් රම්බෝ පිහි, දැලිපිහි, කඩු පෙන්වා දුරගමන් සේවා බස්රථවලින් කප්පම් මුදල් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ සැකකරුව ඊයේ (03) වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබූ රම්බෝ පිහියක්, දැලිපිහියක්, කඩුවක් සහ මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වේයන්ගොඩ, පාරමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි තිදරු පියෙකි.

දුරගමන් සේවා බස්රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් එම සැකකරුට විරුද්ධව පොලීසියට පැමිණිලි සිදුකර නොමැති බවද විමර්ශනවලින් හෙළිවී ඇත.

ගලේවෙල, කුරුණෑගල, මාලිගාවත්ත, දෙමටගොඩ, කිරිබත්ගොඩ ඇතුළු පොලිස් ස්ථාන 13ක එම සැකකරුට එරෙහිව මුදල් කොල්ලකෑම සහ තියුණු ආයුධවලින් කපාකොටා තුවාල සිදුකිරීම සම්බන්ධවද පැමිණිලි ලැබී ඇති බව පොලීසිය පවසයි.

සැකකරුගේ කප්පම් කල්ලියේ සාමාජිකයන් 06 දෙනකු පමණ සිටින බවද වාර්තා වී ඇත.

ඔවුන් කොළඹින් පිටත්වන දුරගමන් සේවා බස්රථවලට ඔරුගොඩවත්ත, මාලිගාවත්ත, මිරිස්වත්ත, නිට්ටඹුව, කුරුණෑගල, ගලේවෙල, දඹුල්ල වැනි නගරවලදී ගොඩවී රම්බෝ පිහියක් සහ දැලි පිහියක් පෙන්වා එම කප්පම් මුදල් ලබාගෙන ඇති බව පොලීසිය පවසයි.

කප්පම් මුදල් නොදුන් කොන්දොස්තරවරුන් සහ රියදුරන්ගේ අත්පාවල ඇඟිලි කපා ඇති බවත් ඇතැමුන් මොහුට විරුද්ධව පොලීසියට පැමිණිලි නොකර ඇති බවත් විමර්ශනවලින් හෙළිවී තිබේ.

මොහුගේ තවත් එක් කප්පම් කල්ලි සාමාජිකයෙකු වන නාලපහ මල්ලියා නැමැත්තෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙදෙනාම අද (04) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.