චෝදනා පත්‍රයක් නොමැතිව වසර එකහමාරක් රිමාන්ඩ් භාරයේ සිටි අයෙකුට ඇප

චෝදනා පත්‍රයක් නොමැතිව වසර එකහමාරක් රිමාන්ඩ් භාරයේ සිටි අයෙකුට ඇප

September 21, 2022   01:14 pm

වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ චෝදනා පත්‍ර ගොනුකිරීමකින් තොරව වසර එකහමාරකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයට පත්කර සිටි සැකකරුවකු ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින්  පීඩාවට පත්කිරීම සඳහා වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ආයුධයක් ලෙස යොදා ගැනීම සුදුසු නොවන බවත් මෙහිදී අභියාචනාධිකරණය ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේය.

රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ගාල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එම ඇප ඉල්ලීම තුළින් සඳහන් කර තිබුණේ කාන්තාවක් සමග අනියම් සම්බන්ධයක් පැවැත්වීමෙන් පසුව ඇති වූ ආරවුල් සිද්ධියක් සම්බන්ධයෙන් පෙත්සම්කාර සැකකරුට එරෙහිව හබරාදුව පොලීසිය මගින් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ කරුණු වාර්තා කළ බවය.

එම කරුණු  සලකා බැලූ ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමකින් තොරව වසර එකහමාරකට ආසන්න කාලයක් තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීම නීතිවිරෝධී බවත් එබැවින් තමන්ට ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලමින් අදාළ සැකකරු විසින් අභියාචනාධිකරණයට එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එය විභාගයට ගත් අවස්ථාවේදී රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ, එම පෙත්සම්කාර සැකකරුට එරෙහිව පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් ඉදිරියේදී මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවය.

එහෙත් අධි චෝදනා ගොනු කරන කාල සීමාව පිළිබඳව එම අවස්ථාවේදී ප්‍රකාශ කර නොහැකි බවත් රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියාය.

කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල තීන්දු කළේ, චෝදනා පත්‍ර ගොනු කිරීමකින් තොරව පෙත්සම්කරු වසර හමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවීම ඇප සලකා බැලීමේදී සුවිශේෂී කරුණක් ලෙස සලකන බවය.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 30ක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළ අභියාචනාධිකරණය සෑම මසකම අවසන් ඉරු දින පොලීසියට වාර්තා කළ යුතු බවට නියෝග කර සිටියේය.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණි.