මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කළ අලුත්ම දැනුම්දීම

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කළ අලුත්ම දැනුම්දීම

September 19, 2022   06:36 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිස ගැනීමට නියමිත විස්තීර්ණ මූල්‍ය පහසුකම සහ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ ඉදිරි සැලසුම් පිළිබඳව එළඹෙන සිකුරාදා (23) ශ්‍රී ලංකා රජය සිය ජාත්‍යන්තර ණයහිමියන් දැනුවත් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

රජය මගින් තෝරාගත් මූල්‍ය නීති උපදේශක ආයතනය වන ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම හරහා මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව දැනුවත් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

සැප්තැම්බර් 23 වනදා මාර්ගගත ක්‍රමවේදය හරහා පැවැත්වෙන එම සැසිය සඳහා සහභාගී වන ලෙස ණයහිමියන්ට දන්වා ඇති අතර ඊට සහභාගීවන සියලුදෙනාට ප්‍රශ්න නැගිය හැකි බවද එහි දැක්වුණි.

මුදල් අමාත්‍යාංශය, ක්ලිෆර්ඩ් චාන්ස් නීති උපදේශක සමාගම හරහා නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ඉතා මෑතකදී ළඟාකරගත් සාර්ව ආර්ථික වර්ධනයන් සහ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟවූ ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණු පිළිබඳව ණයහිමියන් යාවත්කාලීන කිරීමට බලධාරීන් අදහස් කරන බවය.

එහි මීළඟ පියවර ණය ප්‍රතිව්‍යූහගතකරණය බවද එහිදී අවධාරණය කර තිබේ.

විදෙස් විශ්ලේෂකයන් සඳහන් කරන පරිදි මෙරට සමස්ත විදේශ ණය අමෙරිකානු ඩොලර් බිලියන 85 සිට බිලියන 100 ක් දක්වා වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, විශාලතම අභියෝගය වන්නේ තරගකාරීත්වයක් සහිත කලාපීය බලවතුන් වන චීනය, ඉන්දියාව සහ ජපානය මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සඳහා එක් තලයකට ගෙන ඒම බව සඳහන් ය.