අරලියගහ මන්දිරයෙන් භාණ්ඩ සොරකම් කළ දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්

අරලියගහ මන්දිරයෙන් භාණ්ඩ සොරකම් කළ දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්

August 31, 2022   03:16 pm

අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළුවී එහි තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සහ කැමරාවක් සහිත බෑගයක් සොරාගත් බව කියන සැකකරුවන් දෙදෙනෙක් ලබන 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.
 
අරලියගහ මන්දිරය තුළට අයුතු ලෙස ඇතුළුවීම, එහි තිබූ දේපළ සොරාගැනීම, අයුතු ජනරාශියක සාමාජිකයන්වීම යන සිද්ධීන්  සම්බන්ධ නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ අද කැඳවීය.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකරුවන් පිළිබඳව  සිදුකරන විමර්ශන මෙතෙක් අවසන් කර නොමැති බවය.

එබැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළ බව අප වාර්තාකරු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත සිටින සැකකරුවන් පිරිසක්ද අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
 
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහිදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්වූ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇපමත මුදාහැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝගකර සිටියේ සංඛ ජයසේකර හා චමල් අකලංක යන එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට ඇපමත මුදාහැර සිටින ජීවන්ත පීරිස් පියතුමා, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්, දුමින්ද නාගමුව ඇතුළු සැකකරුවන් පිරිසක් අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

නඩුව අද කැඳවූ අවස්ථාවේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ මෙතෙක් අවසන්වී නොමැති බවය.

එ අනුව පරීක්ෂණ අවසන් කර ලබන 14 වනදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.