රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමුකිරීම කඩිනම් කෙරේ

රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමුකිරීම කඩිනම් කෙරේ

August 19, 2022   05:44 pm

රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන කඩිනම් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් අතර පසුගියදා පවත්වා තිබේ.

විදේශ විනිමය ඉපැයීම වර්ධනය කරගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායීව විදේශ රැකියාවලට යොමුකිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරවීම හා ඊට අදාළ ගැටලු පිළිබඳව එහිදී අවධානය යොමුවී ඇති බව සඳහන් විය.

මෙහිදී රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන්ම තවත් කරුණු 06ක් පිළිබඳව සාකච්ඡා කර ඇත.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය කිරීම මගින්, විදේශ මුදල් ප්‍රේෂණය කිරීමට අනේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ රුපියල් ගිණුමක් භාවිත කිරීමට අවසර ලබාදීම, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපට දායක මුදල් ලැබෙන පරිදි හා ගෙවීමට ඇති බැංකු ණය වාරික පියවීම සඳහා එම ගිණුම් සම්බන්ධ කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ.

මුදල් ප්‍රේෂණය කිරීම අවම වශයෙන් මාස 03කට වරක් සිදු කිරීමට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මගින් හැකියාව තිබෙන අතර මෙරටදී මුදල් හර කිරීමට හැකිවන පරිදි රාජ්‍ය නිලධාරියාගේ නමින් ගිණුමක් විවෘත කිරීමට, හවුල් ගිණුමක් විවෘත කිරීමට හෝ මුදල් එවීම සඳහා ගිණුමක් නම් කිරීමට ද අවසර ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.