ශෂී රාජමහේන්ද්‍රන් CIDයට

ශෂී රාජමහේන්ද්‍රන් CIDයට

August 18, 2022   07:58 pm

සිරස නිව්ස් ෆස්ට් අයත් කැපිටල් මහරාජා සමූහයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය අටහමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවය.

පසුගිය ජූලි මස 9 වනදා එවක අග්‍රාමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අරගලකරුවන් පිරිසක් ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ජනාධිපතිවරයාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

එම සිද්ධියේ විමර්ශනයට අදාළව පසුගිය අඟහරුවාදා දින උදෑසන 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි කැපිටල් මහරාජා සමූහයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන් මහතාගෙන් පස්වරු 6.30 පමණ වන තෙක් එනම් පැය අටහමාරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

පසුගිය ජූලි මස 9 වනදා සිරස ටීවී නිව්ස් ෆස්ට් සිදුකළ සජීවි විකාශය අතරතුරදී අවස්ථා කිහිපයකදීම රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි ස්ථානය සම්බන්ධයෙන් සඳහන්ව තිබුණි.

එම අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා අවස්ථා දෙකකදී තමන්ගේ නිවස පිහිටි ස්ථානය නොපවසන ලෙස අදාළ නාලිකාවෙන් ඉල්ලා තිබෙන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් එම නාලිකාව ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පිහිටි ස්ථානය දිගින් දිගටම පැවසීම හේතුවෙන් අරගලකරුවන් අදාළ නිවස ගිනිතැබීමට පෙළඹවීමක් සිදුවී ඇතැයි සැකකරන බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන වැඩිදුර විමර්ශනවලට අදාළව කැපිටල් මහරාජා සමූහයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන් මහතාව නැවත වතාවක් ප්‍රකාශ සටහන් කරගැනීමට කැඳවීමට නියමිත බවත්, ඉදිරියේදී එම නාලිකාවේ තවත් ප්‍රධානීන් කිහිපදෙනෙකුත් ප්‍රකාශ ලබාගැනීම සඳහා කැඳවීමට නියමිත බවත් පොලීසිය සඳහන් කරයි.