හෝමාගම මුව රංචුවකට ජලභීතිකාව

හෝමාගම මුව රංචුවකට ජලභීතිකාව

August 18, 2022   11:29 am

හෝමාගම ප්‍රදේශයේ සැරිසරණ මුවන් රංචුවක් අතරේ ජලභීතිකා රෝගය පැතිර යාමේ අවදානමක් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සහ පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය L.D කිත්සිරි මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

අදාළ මුව රංචුවේ මුවන් 15 දෙනෙකු පමණ මියයාමේ සිද්ධියක් වාර්තාවීමත් සමඟ මෙලෙස පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ එම රංචුවේ මියගොස් සිටි මුවන් දෙදෙනෙකුට ජලභීතිකා රෝගය වැළඳී තිබී ඇති බවය.

කෙසේ වෙතත් වෛද්‍ය L.D කිත්සිරි මහතා ප්‍රකාශ කළේ මෙය ජනතාව අතර පැතිරීමේ තත්ත්වයක් පිළිබඳව බියක් ඇති කරගත යුතු නොවන බවය.

වෛද්‍ය කිත්සිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජලභීතිකා රෝගය සුනඛයන්ගෙන් පමණක් නොව මුගටියන්, කලවැද්දන් ඇතුළු වෙනත් සතුන්ගෙන්ද ඇතිවීම අවදානමක් ඇති බැවින් ජනතාව අවධානයෙන් සිටිය යුතු බවය.

එසේම හෝමාගම ප්‍රදේශයේ ජනතාවට මෙම රංචුවෙන් මුවන් තමන්ගේ ගෙවතු වලට පැමිණ තිබේ නම් ඔවුන් ආහාරයට ගත් සහ ඛේටය ඇති ස්ථාන පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන ලෙස දැනුවත් කර තිබේ.

එසේම සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ප්‍රදේශයේ සුනඛයින් එන්නත් කිරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවය.