විදේශ ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීම ගැන මහ බැංකුවෙන් ලිහිල් කිරීමක්

විදේශ ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීම ගැන මහ බැංකුවෙන් ලිහිල් කිරීමක්

August 16, 2022   04:04 pm

ශ්‍රී ලංකාව වෙත ලැබෙන සේවා අපනයන ලැබීම් සහ ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. 

සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපැයීම් රට තුළට ගෙනඒම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ සේවා අපනයනකරුවන් ශ්‍රී ලංකාව වෙත රැගෙන එන ඔවුන්ගේ අපනයන ඉපැයීම් අවසරලත් කාර්යයන් සඳහා භාවිත කළ හැකි බවය.

කෙසේවෙතත් සේවාව ලබාදුන් දින සිට දින 180ක් ඇතුළත සේවා අපනයන ඉපැයීම් රට තුළට ලබාගැනීමේ අනිවාර්ය අවශ්‍යතාව නො වෙනස්ව පවතී.  

බැංකු විසින් වාර්තා කරනු ලබන තොරතුරුවලට අනුව, 2022 වසරේ පළමු මාස 6 තුළදී සේවා අපනයන ලැබීම් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 1,533ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති අතර ඉන් එක්සත් ජනපද ඩොලර් මිලියන 406ක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කර ඇත. 

2022 මාර්තු මාසයේ දී, ඉහළම මාසික සේවා අපනයන ඉපැයීම් වන එක්සත් ජනපද ඩොලර් මිලියන 324ක මුදලක් ලැබී තිබුණි. සේවා අපනයනකරුවන්ගේ නියෝජිතයින් සමග පැවැත්වූ  සාකච්ඡාවල දී ඔවුන් විසින් අපනයන ලැබීම් තවදුරටත් ඉහළ නැංවීමේ හැකියාව ඉස්මතු කර තිබේ.

අපනයන ඉපැයීම් දින 180ක් තුළදී ගෙනඒමේ අනිවාර්ය අවශ්‍යතාව වෙත අවධානය යොමු කරමින්, සියලුම අපනයන ඉපැයීම් මෙම අවශ්‍ය මොහොතේ රටට ගෙන්වා ගැනීමට සියලුම අපනයනකරුවන් දිරිමත් කරමින් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

අපනයනකරුවන් සහ අවසරලත් වෙළෙඳුන් අදාළ අවශ්‍යතාව සමග අනුකූලවීම අධීක්ෂණය කිරීමේ කටයුතු ද ශ්‍රී ලංකා මහ බැංකුව තීව්‍ර කර ඇති බව පවසයි.    

ඉහත සඳහන් ලිහිල් කිරීම සම්බන්ධ වැඩිදුර විස්තර, www.dfe.lk හරහා 2022 අගෝස්තු 12 දිනැති අංක 2292/50 දරන ගැසට් (අති විශේෂ) නිවේදනයේ පළකර ඇති  "2022 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ රීති" වෙත යොමුවීමෙන් ලබාගත හැකි බවද මහ බැංකුව සඳහන් කරයි.