ගුවන් හමුදාවට ඩෝනියර් යානාවක්

ගුවන් හමුදාවට ඩෝනියර් යානාවක්

August 12, 2022   10:06 pm

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු රජය විසින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් - 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් මෙරටට ලබාදී තිබේ.

නව ගුවන්යානයක් නිෂ්පාදනය කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් අවශ්‍ය වන බැවින් මෙම ගුවන්යානය ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබාදීමට එකඟ වී ඇත. 

ඒ අනුව මෙම ප්‍රථම දෙවසර අවසානයේදී නව ඩෝනියර් - 228 සමුද්‍රීය මුර සංචාර ගුවන්යානාවක් නොමිලේ ලබාදීමට ඉන්දීය රජය සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා රජය විසින් අන්‍යොන්‍ය වශයෙන් එකඟ වූ නියමයන් සහ කොන්දේසි මත ඉන්දියාව විසින් තවත් නව ගුවන්යානයක් ලබාදීමට ද නියමිතව තිබේ. 

ඩෝනියර් - 228 යනු කෙටි ගුවන් ධාවන පථයක් මත ගුවන් ගත කිරීම් සහ ගොඩබෑම් සඳහා විශේෂිත වු හැකියාවකින් යුත් ටර්බෝප්‍රොප් (Turboprop) වර්ගයේ ද්විත්ව එන්ජින් (Twin-engine) සහිත බහුකාර්ය සැහැල්ලු ප්‍රවාහන ගුවන්යානයකි. 
එය 1981 සිට ජර්මනිය තුළ නිෂ්පාදන කටයුතු සිදු කරන ලදි. 

ජර්මනියේ ඩෝනියර් GmbH සමාගම විසින් 1981 - 1998 කාලසීමාව තුළ මෙම ගුවන්යානා 245ක් පමණ නිපදවා ඇති අතර පසුව හින්දුස්ථාන් ගුවන් යානා සමාගම (Hindusthan Aeronautics Limited) 1993 සිට ඩෝනියර් GmbH බලපත්‍රය යටතේ මෙම ගුවන් යානා නිෂ්පාදනය කරනු ලබයි.

අගෝස්තු මස 15 වන දින ඩෝනියර් - 228 වර්ගයේ ප්‍රථම යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමට නියමිතව ඇත.