ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ලකර නොමැති බව ඉන්දියාව කියයි

ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ලකර නොමැති බව ඉන්දියාව කියයි

August 12, 2022   09:38 pm

යුවාන් වෑන්ග් - 5 නෞකාවේ හම්බන්තොට සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්වාධීන තීරණයක් ගත හැකි බව ඉන්දියාව පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය අද (12) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ, නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය ගැන චීනය තම රටට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. 

ඉන්දීය විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දම් බග්චි පවසන්නේ,

"යුවාන් වෑන්ග් - 5 නෞකාව සම්බන්ධයෙන් පළවී ඇති වාර්තා සහ අදහස් පිළිබඳව අපේ අවධානය යොමුවනවා."

"එහිදී ඉන්දියාව ක්‍රියා කළයුතු ආකාරය සහ ශ්‍රී ලංකාවට පීඩනය එල්ල කරන එවැනි අදහස් හා ප්‍රකාශ අපට දැකගත හැකියි."

"ඉන්දියාවට එල්ලවන එවැනි චෝදනා මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා."

"ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක්. ඔවුන්ට ස්වාධීන තීරණ ගත හැකියි. ආරක්ෂාව පිළිබඳ අපේ අවධානය සැලකූ විට මෙය එක් එක් රටවල ස්වෛරී අයිතියට අදාළ කරුණක්." 

"අපි අපගේ අභිලාෂයන්ට අනුව හොඳම තීරණවලට එළඹෙනවා. එය කලාපයේ පවතින වාතාවරණය, දේශසීමා තත්ත්වය අනුව තීරණය කෙරෙනවා."

"චීනය සහ ඉන්දියාව අතර සබඳතා සැලකූ විට එකිනෙකාට ගරු කිරීම, අවබෝධාත්මක සංවේදීතාව සහ අන්‍යොන්‍ය අභිලාෂයන් එම සබඳතා ගොඩනැගීමේ පදනම වියයුතු බවයි අප අඛණ්ඩව අවධාරණය කරන්නේ."

හම්බන්තොට වරායට ඊයේ (11) පැමිණීමට නියමිතව තිබූ චීන නෞකාව ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් නාවික සැතපුම් 614ක් පමණ දුරින් රැඳීසිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි. 

විදෙස් මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කළේ, නෞකාවේ ගමන පමාකරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් සිදුකළ ද නෞකාව ශ්‍රී ලංකාව දෙසට පැමිණෙමින් තිබූ බවය. 

ඒ අනුව කිසිදු වරායකට පිවිස ඉන්ධන හෝ ආහාර නැවත ලබාගැනීමකින් තොරව නෞකාව මේ වනවිට දින 29 ක් මුහුදේ යාත්‍රාකරමින් පවතී. 

යුවාන් වෑන්ග් - 5, නෞකාව ශ්‍රී ලංකා, චීනය සහ ඉන්දියාව අතර පමණක් නොව අමෙරිකාව ද ඈඳුණු රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් වී ඇති බව වොෂිංටන් පෝස්ට් පුවත්පත අද වාර්තා කර තිබේ. 

එම පුවත්පතේ සඳහන් වන්නේ, මෙම නෞකාවේ හම්බන්තොට සංචාරයට ඉන්දීය සහ අමෙරිකානු බලධාරීන් දැඩි බලපෑමක් එල්ල කර ඇති බවය. 

චීන නෞකාවේ සංචාරය උපක්‍රමීය වශයෙන් විශාල වැදගත්කමකින් යුක්ත නොවූවත් එය හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබාදීමෙන් ශ්‍රී ලංකාව චීනයට විශේෂ සැලකීමක් සිදුකරන බව ඉන්දියාවේ සහ අමෙරිකාවේ අදහස යැයි වොෂිංටන් පෝස්ට් සඳහන් කරයි.

එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉල්ලීමට අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් චීනය එවැනි සැලකුම් අපේක්ෂා කරන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය. 

මේ අතර චීන පර්යේෂණ නෞකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ස්වාධීන පක්ෂ එකමුතුව සඳහන් කරන්නේ අදාළ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බවය.

එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝ කාලීන ද්විපාර්ශ්වීය සබඳතා ආරක්ෂා වන සේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් මතුව ඇති ගැටලුව විසඳා ගැනීමට යුහුසුළුව ක්‍රියා කරන ලෙස රජයට බලකර සිටින බවය. 

ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආර්ථික ආධාර ලබා දෙන්නේ චීනය හා ඉන්දියාව බවත් ඉන්දියාව සමග මෙන්ම, චීනය සමග අනවබෝධතා, රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ විරසකවීම්, අප රටට ඔරොත්තු නොදෙන බව ද සිය නිවේදනය මගින්  ස්වාධීන පක්ෂ එකමුතුව සඳහන් කරයි. 

ස්වාධීන පක්ෂ එකමුතුව විසින් නිකුත් කළ මෙම නිවේදනය සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, ඇතුලු නියෝජිතයින් අටදෙනෙකු අත්සන් තබා තිබේ.