අත්අඩංගුවට ගත්තේ හරක් කටා ද?

අත්අඩංගුවට ගත්තේ හරක් කටා ද?

August 12, 2022   09:01 pm

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයෙකු සහ ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයෙකු වන නදුන් චින්තක හෙවත් 'හරක් කටා' නැමැත්තා ඩුබායි ගුවන් තොටුපොළකදී එරට ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු බව වාර්තා විය.

ඔහුගේ බිරිඳ බව කියන කාන්තාවක් සහ 'ජිලේ' නමැති පාතාල කල්ලි සාමාජිකයා ද අත්අඩංගුවට ගෙන ඇති බව පැවසෙයි.

'ජිලේ' යනු කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වෙයි.

පොලීසියට අවශ්‍යව සිටින ප්‍රධාන පෙළේ හෙරොයින් ජවාරම්කරුවෙකු හා පාතාල කල්ලි නායකයෙකු වන නදුන් චින්තක හෙවත් 'හරක් කටා' නමැත්තා මීට වසර දෙකකට පමණ ඉහතදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් හරහා ඩුබායි රාජ්‍ය වෙත පළාගොස් තිබුණි.

ඒ, ගාල්ල, මිදිගම ප්‍රදේශයේ ලිපිනයකට, රොෂාන් ඉෂංක නම් මියගිය පුද්ගලයෙකුගේ නමට සැකසූ ගුවන්ගමන් බලපත්‍රයකින් බව පොලිස් වාර්තා පැවසීය.

'හරක් කටා' සිය බිරිඳ යැයි පැවසෙන කාන්තාවක් සමග මෙම ව්‍යාජ ගමන් බලපත්‍රය භාවිත කර ඩුබායි සිට මැලේසියාව බලායාමට ඩුබායි හි ගුවන් තොටුපොළකට ඊයේ පැමිණ තිබූ බව මෙරට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව එම ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍රයේ තොරතුරු ඩුබායි ආගමන විගමන නිලධාරීන්ට ලබාදී ඇති අතර එහිදී හරක් කටා, ඔහුගේ බිරිඳ යැයි කියන කාන්තාව හා තවත් අයෙක් එම නිලධාරීන් විසින් රඳවාගෙන අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වෙයි.

'හරක් කටා' ඩුබායි හි සිට මෙරටට අවස්ථා රැසකදී විවිධ ක්‍රම හරහා හෙරොයින් එවා ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පමණක් ඒ අතරින් ටොන් එකකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම පසුගිය කාලයේ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවූ ඝාතන 20කට අධික සංඛ්‍යාවක් 'හරක් කටා' විසින් මෙහෙයවනු ලැබූ බව පොලීසිය පවසයි.

පසුගියදා ගල්කිස්ස උසාවියේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය ද 'හරක් කටා' විසින් මෙහෙයවු බවට පොලීසිය සැක කරයි.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන ද නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් ව්‍යාජ ගමන් බලපත්‍රය සමග අත්අඩංගුවට ගත්තද, ඒ 'හරක් කටා' බවට මෙතෙක් අදාළ බලධාරීන් තහවුරු කර නොමැත.

ඒ පිළිබඳ නිශ්චිතවම තහවුරු කරගැනීම සඳහා මෙරට ආරක්ෂක අංශ මේ වනවිටත් යුහුසුළුව කටයුතු කරමින් සිටී.

ඔහු 'හරක් කටා' වුවහොත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කර කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රියා කරන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

මේ අතර 'හරක් කටා' සමග රඳවාගෙන ඇති අනෙක් පුද්ගලයා පසුගියදා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු රුක්ෂාන් ඝාතනය මෙහෙයවූ පුද්ගලයා යැයි සැකකරන 'ජිලේ' නැමැත්තා බවට මෙරට ආරක්ෂක අංශ සැක කරයි.