ගාලු මුවදොර අලුත්ම තත්ත්වය

ගාලු මුවදොර අලුත්ම තත්ත්වය

August 12, 2022   07:11 pm

දින 125ක පමණ කාලයක් පුරා ගාලු මුවදොර රැඳී සිටි අරගලකරුවන් සියලුම දෙනා අද (12) එම ස්ථානයෙන් ඉවත් විය.

ඒ ඔවුන්ගේ අවසන් කූඩාරම ද ඉවත් කරගනිමිනි.

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටි උද්ඝෝෂණ ස්ථානයේ දිගින් දිගටම රැඳී සිටි අරගලකරුවන්ගෙන් පිරිසක් පසුගිය 9 වනදා රාත්‍රියේ එම භූමියෙන් ඉවත්වී තිබුණි.

නමුත් තවත් පිරිසක් අද දහවල් දක්වා එම ස්ථානයේ රැඳී සිටිනු දක්නට ලැබුණි.

දහවල් 12ට පමණ පැමිණි පොලිස් නිලධාරීන් එහි රැඳී සිටින අරගලකරුවන්ට දැනුම්දුන්නේ මිනිත්තු 15ක් තුළ එම ස්ථානයෙන් ඉවත් වන ලෙසය.

අනතුරුව එහි සිටි පිරිස් කුඩාරම් හා අට්ටාල ගැලවීමට පියවර ගෙන තිබුණි.

එහි සිටි පිරිස් භාවිත කළ බව කියන මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය කිහිපයක් ද සොයාගත් බවද පොලීසිය පැවසීය.

අරගල භූමියේ ඇති අට්ටාල ඉන් ඉවත් කිරීම සඳහා නගර සභා සේවකයින්ද සහාය ලබාදුනි.

මේ අතර අධිකරණ නියෝග කඩ කරමින් කොටුව දුම්රිය ස්ථානය අසල පැවැති උද්ඝෝෂණයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල ක්‍රියාකාරී මද්දුමගේ මංගල ලබන 24 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අරලියගහ මන්දිරය ඉදිරිපිට 'නෝඩීල් ගම' විරෝධතාවයන්ට සම්බන්ධ වූ තිදනෙකු අද කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුනි.

අනතුරුව අත්අඩංගුවට ගැනුණු ඔවුන්ව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

මේ අතර ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට අලාභහානී සිදු කළ සැකකරුවන් පිරිසක් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි.

ඊට අදාළ ඡායාරූප පෙළක් ද මාධ්‍යට නිකුත්කර තිබුණි.

මැයි 09 වනදා විරෝධතා අතරතුර ඇතිවූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් ඊයේ (11) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රි නිහාල් වෙදආරච්චි මහතා තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අද (12) ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළේය. 

සැකකරු සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ සහෝදරයෙකි.