හදිසි නීතියට එරෙහි පෙත්සම් 03ක් විභාගයට අවසර

හදිසි නීතියට එරෙහි පෙත්සම් 03ක් විභාගයට අවසර

August 12, 2022   04:31 pm

ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති රෙගුලාසි පැනවීම තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු  කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) අවසර ලබාදී තිබේ.

කෙසේවෙතත් එම හදිසි නීති රෙගුලාසි අත්හිටුවන අතුරු නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බවද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

එමෙන්ම අදාළ හදිසි නීති රෙගුලාසිවල අඩංගු කරුණු සම්බන්ධයෙන් නැවත සලකාබලන ලෙසත් එසේ යම් සංශෝධනයක් සිදු කරන්නේ නම් සති දෙකක් තුළ අධිකරණයට දැනුම්දෙන ලෙසත් අධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

විජිත් මලල්ගොඩ, අචල වෙන්ගප්පුලි, මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවා තිබුණි.

ලිබරල් තරුණ ව්‍යාපාරයේ සහ කැඳවුම්කරුවන් වන නීතිඥ නාමිණී පණ්ඩිත සහ රුසිරු එගොඩගේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා  සත්කුනනාදන් මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම් ගොනු කර තිබේ.

අනතුරුව පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 28 වනදා සිදුකිරීමට නියම කෙරුණි.