උදයංගගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

උදයංගගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

August 12, 2022   03:33 pm

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සිදුකළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය.

ඒ, තමන්ට විදෙස්ගතවීමට අවසර ලබාදෙන ලෙස පවසමින් උදයංග වීරතුංග කළ ඉල්ලීමකි.

මිග් ගුවන්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව මීට පෙර උදයංග වීරතුංග මහතාට ඇප ලබාදුන් අවස්ථාවේ දී ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.

මෝසමක් මාර්ගයෙන් අද (12) අධිකරණය හමුවේ කරුණු දැක්වූ උදයංග වීරතුංග මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා කියාසිටියේ වෙළෙඳ සම්මන්ත්‍රණයකට සහභාගීවීම සඳහා තම සේවාදායකයාට විදෙස්ගතවීමට අවශ්‍යව ඇති බැවින් අදාළ තහනම තාවකාලිකව ලිහිල් කිරීමක් සිදුකරන ලෙසය.

කෙසේවෙතත් උදයංග වීරතුංග මහතා 2015 වසරේ සිට අධිකරණය මගහැර විදෙස්ගතව සිට 2019 වසරේදී නව රජය බලයට පත්වීමෙන් පසුව මෙරටට පැමිණි බැවින් මෙවර විදෙස්ගතවීමට අවසර ලබාදුනහොත් ඔහු යළි මෙරටට පැමිණීම අවිනිශ්චිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා විදෙස්ගතවීමට අවසර ලබාදෙන ලෙස උදයංග වීරතුංග මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දැනුම්දුන් බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.