ජෝසෆ් ස්ටාලින් අද අධිකරණය ට

ජෝසෆ් ස්ටාලින් අද අධිකරණය ට

August 4, 2022   07:47 am

අත්අඩංගුවට ගනු ලැබු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද (04) කොටුව මහෙස්ත්‍රාත් අ‍ධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පසුගිය මැයි 28 වන දින උද්ඝෝෂණයකට සහභාගීවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්යාලයේ දී ජෝසප් ස්ටාලින් මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් ජෝසප් ස්ටාලින් මහතා මේ වන විට කොටුව පොලීසියේ රඳවාගෙන ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා සඳහන් කළේය.

ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගැනීමත් සමග වෘත්තීය සමිති නායකයින් දේශපාලනඥයින් පිරිසක් කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණියේය.

එහිදි අදහස් දැක්වු ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, මෙවැනි අත්අඩංගුවට ගැනීම් තුළින් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන් මැඩපැවැත්විය නොහැකි බවය.

මර්දනය කිරීම් තුළින් සර්ව පාක්‍ෂික ආණ්ඩු පිහිටුවීමෙන් ඵලක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් ක‍ළේය.

මේ අතර ඊයේ පස්වරුවේ පූජ්‍ය කොස්වත්තේ මහනාම හිමි ද කිරුළපන පොලීසිය විසින් අත්අංගුවට ගෙන තිබේ.

පොලිස් මුලස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමේ චෝදනාව මත උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.