කෘෂිකාර්මික යන්ත්‍රසූත්‍ර සඳහා ඉන්ධන නිකුත් කිරීම අලුත් ක්‍රමවේදයකට

කෘෂිකාර්මික යන්ත්‍රසූත්‍ර සඳහා ඉන්ධන නිකුත් කිරීම අලුත් ක්‍රමවේදයකට

August 3, 2022   07:22 pm

කෘෂිකාර්මික යන්ත්‍රසූත්‍ර සඳහා වෙනම කාණ්ඩයක් යටතේ QR කේත නිකුත් කර අවශ්‍ය ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේදී පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව සඳහන් කර තිබේ.

ඩිපෝ සහ හමුදා කඳවුරුවල ඉන්ධන ගබඩා මගින් ගොවි ජනතාවට ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසාදෙන බවද මෙම සාකච්ඡාවේදී සඳහන් කර ඇත. 

ඒ අනුව මහවැලි කලාපයේ කෘෂිකාර්මික යන්ත්‍රසූත්‍ර සඳහා ඉන්ධන නිකුත් කිරීමට හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

අද (03) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ QR ක්‍රමවේදය යටතේ පෙට්‍රල් වාහන ලක්ෂ 5කට සහ ඩීසල් වාහන 50,000කට වැඩි ප්‍රමාණයක් සඳහාත් ඉන්ධන නිකුත් කර තිබේ.

එලෙස නිකුත් කර ඇති ඉන්ධන ප්‍රමාණය ලීටර ලක්ෂ 50කට අධිකය.

ඒ අනුව ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ තෙවැනි දිනය අදය. 

ඒ සඳහා මේ වනවිට ලියාපදිංචි වී ඇති පිරිස 5,274,730කි. 

අද පෙරවරු හයෙන් අවසන් වූ පැය 24 තුළ වැඩිම ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කර තිබුණේ, යතුරුපැදි සඳහාය.

ඒ අනුව යතුරුපැදි 371,618 කට නිකුත් කර තිබූ පෙට්‍රල් ප්‍රමාණය ලීටර 1,466,865කි.

දෙවැනියට වැඩිම ඉන්ධන ප්‍රමාණය නිකුත් කර තිබුණේ මෝටර් රථ සඳහාය. 

ඒ අනුව මෝටර්රථ 71,240ක් සඳහා ඉන්ධන ලීටර 1,320,983ක් නිකුත් කර තිබේ.

ත්‍රිරෝද රථ 120,201ක් සඳහා නිකුත් කර තිබුණේ ඉන්ධන ලීටර 593,635ක් පමණි.