අමානුෂික ඝාතන දෙකක්

අමානුෂික ඝාතන දෙකක්

August 1, 2022   07:58 am

ඔපනායක, අකරුල්ල ප්‍රදේශයේදී පියා විසින් තියුණු ආයුධයකින් පහරදී විශේෂ අවශ්‍යතා ඇති ආබාධිත පුතා ව ඝාතනය කර තිබේ.

පසුගිය 30 වනදා අලුයම් කාලයේදී බීමතින් නිවසට පැමිණි පියා විසින් අදාළ පුතාට නියනකින් පපුවට ඇන බරපතළ තුවා සිදුකර තිබුණි.

බරපතළ තුවාල ලැබූ පුතා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (31) මියගොස් ඇති බව පොලීසය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි අකරුල්ල, ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකාර පියා ඕපනායක පොලීසිය විසින් අත්අතඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට පළමු හරස් පටුමඟ ප්‍රදේශයේදී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකර ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා හා තුවාලකරු තවත් පිරිසක් සමග බඩෝවිට පළමු හරස් පටුමඟ ප්‍රදේශයේ නිවසක පැවති ආගමික කටයුත්තක් අතරතුරදී සූදූ ක්‍රීඩාවේ යෙදී සිටියදී ඇතිවූ මුදල් ආරවුලක් හේතුවෙන් සූදූ පිටිය පවත්වාගෙන ගිය අය විසින් මෙම ඝාතනය සිදුකර ඇත.

ඝාතනය සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්ලකිස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.