පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වැසෙයි

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වැසෙයි

July 18, 2022   07:05 am

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර ඇති අතර, පිවිසුම් මාර්ග සියල්ල මාර්ග බාධක යොදා අවහිර කර ඇතැයි අප වාර්තාකරුවන් පැවසීය.

මේ අතර, පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

දැනට රට තුළ මතුව ඇති දේශපාලන අර්බුදකාරී වාතාවරණය මත අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම හෙට දිනයේ දී සිදුකිරීමට නියමිතව තිබේ.

මීට අදාළ ඡන්ද විමසීම අනිද්දා (20) දිනයේ දී පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් ලෙස පැවැත්වෙනු ඇත.

මේ වන විටත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පස් දෙනෙකු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ ඔවුන්ගේ නාම යෝජනා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදීමට නියමිත අතර අනතුරුව ඔහු විසින් එය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත්කරනු ඇත.

ඡන්ද විමසීමේ දී එය පැවැත්වෙන දින ඡන්දය භාවිත කරනු ලබන මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයා නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ එක් එක් දේශපාලන පක්ෂ මේ වන විටත් ඔවුන් සහය ලබාදෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද භාවිතා කිරීම ප්‍රබල සාධකයක්ව පවතින බව සඳහන්ය.

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 145ක් පොදුජන පෙරමුණ සතුවන අතර සමගි ජනබලවේගය සතුව මන්ත්‍රී ආසන 54ක් පවතී.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය සතුව මන්ත්‍රී ආසන 10ක්, ජාතික ජනබලවේගය සතුව මන්ත්‍රී ආසන 3ක්, ඊලාම් ජනතාවාදි පක්ෂයට සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයට මන්ත්‍රී ආසන 2ක් හිමි වේ.

මීට අමතරව තමිල් මක්කල් විඩුදලෙප් පුලිකල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසිය කුට්ටනි, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂයට මන්ත්‍රී ආසන එක බැගින් හිමිව තිබේ.